පුංචි ඡන්දෙට මහින්ද එක්ක

Ex-PS Chairman
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධානත්වයෙන් ගොඩනැගෙන නව පක්ෂයකින් ඊළඟ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීහු පස් දෙනෙක් ඊයේ (21) ප්‍රකාශ කළහ.

ඔවුන් මේ අදහස් දැක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.


මෙම අදහස් දැක්වීමට වලල්ලාවිට හිටපු ප්‍රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරල, ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන, මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් නන්දසිරි රණතුංග යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

ඒ අනුව මෙම නව පක්ෂය ගොඩනැගීමට අදාළ මූලික අදියර සිදු කර අවසන් බවත්, පළාත් පාලන මැතිවරණයට දින නියම කළ විගසම නව පක්ෂයේ සංකේතය, වර්ණය සහ පක්ෂයේ නම ප්‍රකාශයට පත් කරන බවත්, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා සඳහන් කළේ ය.

පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කළ සමීක්ෂණයකට අනුව ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව කරගෙන යාමට ඇති හැකියාව 92 ක් බවට හෙළිව ඇතැයි කී ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා හැකිනම් මාස තුනක් ඇතුළත පළාත් පාලන මැතිවරණය පවත්වා ජයග්‍රහණය කර පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කළේ ය.

සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග බවත්, ඒ නිසා මෙය පක්ෂය දෙකට කැඩීමක් නොවන බවත්, මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය සඳහන් කළා ය.

එමෙන්ම මාධ්‍ය ඉදිරියේ පක්ෂය විවේචනය කළා යැයි විනය පරීක්ෂණ පැවැත්වීමට ලිපි එවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම්වරයා නිහඬව සිටින බවත්, ඒ සභාපතිවරුන් දස දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ලිපි එවන්නැයි තමා අභියෝග කරන බවත් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.