අලියාට කාන්තාව බිලි

aliya
අනුරාධපුර තිරප්පනේ මාරාකුලම ප්‍රදේශයේ එළවළු වගා කළ හේනකට ඊයේ (21 දා) පෙරවරුවේ පැමිණි වන අලියකු පළවා හැරීමට සිය සැමියා සමග එහි ගිය පනස්‌හතර හැවිරිදි කාන්තාවකට එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම කාන්තාව එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇත.

ඊයේ (21 දා) පෙරවරු 6.30 ට පමණ වූ මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ තිරප්පනේ මාරාකුලම ප්‍රදේශයේ පදිංචි පී. කරුණාවතී නමැති දෙදරු මවකි.

සිය එළවළු වගා කළ හේනට වන අලියකු පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුව ඇය සහ ඇගේ සැමියා අලියා පළවා හැරීමට යන අතරමගදී වන අලියා ඔවුන් දෙදෙනා පසුපස පන්නා ඇත.

එම අවස්‌ථාවේ සැමියා සිය බිරිඳගේ අතින් අල්ලාගෙන සිය ජීවිත බේරා ගැනීමට දුවගෙන යද්දී ඇය බිම ඇද වැටී තිබේ.

එහිදී සැමියා ගසකට නැඟ සිය ජීවිතය බේරා ගැනීමත් සමග වන අලියා බිරිඳට ප්‍රහාරයක්‌ එල්ල කොට බිම දමා පාගා හොඬවැලෙන් අත්පා ගලවා විසිකර ඇත.

පසුගිය හය මසක කාලය තුළ මේ දක්‌වා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මාරාකුලම අක්‌කර පනහ සහ ඇතුන්ගම යන ගම්මානවල පදිංචි ගැමියන් සිව් දෙනකු අලින් විසින් ඝාතනය කළ ඇති බව ගම්මු කියති.

තම ගම්මානවලට කඩා වදින වන අලින් පළවා හරින ලෙසට බලධාරීන්ට බල කරමින් ඊයේ (21 දා) මහනුවර-යාපනය අතර ඒ-09 මාර්ගයේ මාරාකුලම ප්‍රදේශයේදී ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.