තුර්කි භූ කම්පනය: මිය ගිය ගණන 37,000 ඉක්මවයි


තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය සංඛ්‍යාව 37,000 ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුර්කියේ පුද්ගලයින් 31,974 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති බව ය. සිරියාවේ පුද්ගලයින් 5,800කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මේ වන විට තුර්කියේ සුන්බුන් අතර සිර වී සිටි 8,000කට වැඩි පිරිසක් මුදා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර, භූ කම්පනයෙන් පසු ආධාර ලබා දීමට ඉදිරිපත් වූ සියලු රටවල් වෙත සිය කෘතඥතාව පළ කරන බව තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත.

ප්‍රභාකරන් තාමත් ඉන්නවා

ප්‍රභාකරන් තවමත් ජීවත්ව සිටින බවත්, සුදුසු අවස්ථාවේ යළිත් මහජනයා වෙත පැමිණෙන බවත් තමිල්නාඩු දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ කරුණ ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (13 දා) තමිල්නාඩුවේ තහ්ජමුර්හිදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමිනි.

වසන්ත මුදලිගේ කළ හෙළිදරව්ව

ආණ්ඩුව සැලසුම්කර තිබුණේ තමා නිදහස් කිරීමට නොව ඝාතනය කිරීමට බවත් මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමූ නිසා එය කළ නොහැකි වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.පෙබරවාරි 04 වැනිදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් සියලුම දෙනා එදිනට කොළඹට පැමිණෙන ලෙසත් එසේ පැමිණීමට නොහැකි අය තමා පදිංචි ප්‍රදේශයේ සිට කලු කොඩියක් ඔසවා විරෝධය පලකරන ලෙසත් ඉල්ලා සිටියි.ඔහු මේ බව පැවසූවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

රුපියල සියයට 44කින් අවප්‍රමාණ වෙලා


2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවක එලෙස සඳහන් වේ. 2023 වසරේ ජනවාරි මස 31 වන දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ඉන්දියානු රුපියල, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ජපන් යෙන්වලට සාපේක්‍ෂව අවප්‍රමාණය වී ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.

පෙට්‍රල් මිල රු. 30 කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි. 
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි