අගමැතිකමට රනිල් සුදුසුයි


රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය ලබාදීම සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ මත ප්‍රකාශ කළද, පාර්ලිමේන්තුව තුළ අපොස සාමාන්‍ය පෙළ අසමත් 94 දෙනකු සිටින බැවින්  එවැනි පුද්ගලයකුට අගමැතිකම ලබා දෙනවාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම මේ අවස්ථාවේ වැදගත් වන බව තමන් විශ්වාස කරන්නේයැයි තමීල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේස්වරන් මහතා දේශයට ප්‍රකාශ කළේය.

පුද්ගලයින් 230ක් අත්අඩංගුවට


ගත වු දින කිහිපය තුළ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පසුගිය 09 වැනිදා සිට මේ දක්වා කාලය තුළ විවිධ චෝදනා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. ඉන් පුද්ගලයින් 68 දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

මන්ත්‍රී ආරක්ෂාව තර කෙරේ


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ.

සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස්


වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකු අද (15) විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇත.

රටේ ඇතිවුණු තත්ත්වය ගැන හෙළි කරනවා – මහින්ද


තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.