අගමැතිකමට රනිල් සුදුසුයි


රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය ලබාදීම සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ මත ප්‍රකාශ කළද, පාර්ලිමේන්තුව තුළ අපොස සාමාන්‍ය පෙළ අසමත් 94 දෙනකු සිටින බැවින්  එවැනි පුද්ගලයකුට අගමැතිකම ලබා දෙනවාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම මේ අවස්ථාවේ වැදගත් වන බව තමන් විශ්වාස කරන්නේයැයි තමීල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේස්වරන් මහතා දේශයට ප්‍රකාශ කළේය.

විදේශ ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් පැවතිය යුතු වන අතර පවතින ආර්ථික අර්බුදය මෙරට සියලු ජාතීන්ට එකසේ බලපාන හෙයින් දේශපාලන මතිමතාන්තර පසෙක ලා විදේශ රාජ්‍ය සමඟ සහයෝගයෙන් කටයුතු කර රටේ ආර්ථිකය ගොඩනංවාගත හැකි අයෙකු පත්කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, දෙමළ ජනතා ගැටලුවලට රනිල් වික්‍රමසිංහ විසඳුමක් ලබා දෙතැයි දෙමළ ජනතාව විශ්වාස නොකරන නමුදු ඔහුට ඇමෙරිකාව, කැනඩාව, ඉන්දියාව, යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි හෙයින් එම රටවලින් හා ආයතනවලින් උපකාර ලබා ගැනීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් විග්නේස්වරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අවම වශයෙන් මාස හයක පමණ කාලයක් තුළ යළි ආර්ථිකය ගොඩගැනීමට පියවර ගත යුතු වන අතර ශ්‍රී ලංකාව ගෙවීමට ඇති විදේශ ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබාගත යුතු බවත්, ආනයන සීමාකොට අපනයන හැකි තරම් වර්ධනය කර ගැනීමෙන් අප දැන් මුහුණදෙන විදේශ විනිමය හිඟය යම් පමණකින් අවම කර ගැනීමට පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.