දින විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා


මහ බැංකුවේ නව අධිපතිවරයා කළ වැඩක්ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩ භාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා කෙටි කාලයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 15කට (රුපියල් කෝටි 1490ක්) ආසන්න මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි නිල දත්ත අනාවරණය කරයි. මෙහි දෛනික සාමාන්‍යය රුපියල් බිලියන 1.14කි.

ශිරන්ති ආර්යාව දැඩිමුණ්ඩ පිලිසරණ සොයයි


අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මාවනැල්ල අලුත්නුවර සුප්‍රසිද්ධ දැඩි මුණ්ඩ දේවාලයේ භාරයක් සිදු කරන්නට පසුගිය 30 වනදා පැමිණි බවට සමාජ මාධ්‍ය ආරංචි වාරතා කරයි. ඇය දේවාලයට පැමිණි අවස්ථාවේ එහි සිටි අයෙකු ලබාගත් ඡායාරූපද සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව ඇත. ඇයගේ පැමිණීම අවස්ථාවේ ටික දෙනෙකු පමණක් ආරක්ෂකයින් ලෙස පැමිණි බවත් වාර්තා විය. මේ අතර ඇය ආසන්න කාලයේ දළදා මාළිගාවටද ගමන් කළ බවට වාර්තා පළව ඇත.

ජනපති ආරක්ෂාව තර කෙරේ


ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක සේනාවේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර ඇත.

මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල යටතේ වන ජනාධිපති ආරක්ෂක සේනාවේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාම සඳහා මෙම පත්කිරීම කර තිබේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් ජනතාව අසරණ වෙති

කිරිපිටි, පාන්පිටි, ඖෂධ, ගෑස්, සිමෙන්ති, ඉන්ධන හා භූමිතෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව තව තවත් ඉතා අන්ත අසරණභාවයට පත්ව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා  ඊයේ (04 දා) පැවසීය.

මූලික අවශ්‍යතා සඳහාවත් ආණ්ඩුව විසඳුම් ලබා නොදීම කනගාටුදායක බව ද හෙතෙම කීය.

තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ශ්‍රී ලංකාවට දෙයි


තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ. තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ.