ගුවන් සමාගම් මත්තලට බෑ කියයි

අන්තර්ජාතික ගුවන් සමාගම් මත්තල ගුවන් තොට භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක් විඳින්නට සිදු වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. ධාවන පථයේ නඩත්තු වෙනුවෙන් කටුනායක ගුවන් තොට දිනකට පැය 8ක් වසා තැබෙන කාලයේ මත්තල ගුවන්තොට භාවිතයට ගන්නට සැලසුම් කර තිබුණ ද අන්තර්ජාතික ගුවන් සේවා තම ගුවන් යානා මත්තලට ගොඩබැස්වීමට අකැමැත්ත පළ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට මේ දැවැන්ත පාඩුව විඳින්නට සිදු ව ඇත.

කටුනායක වසා තැබෙන මාස තුනක කාලය ඇතුළත ඩොලර් මිලියන 50 ක පමණ ආදායමක් ශ්‍රී ලංකන් ආයතනයට අහිමි වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලක්ෂයේ දීමනාව රන්ජන් රාමනායකටත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාල දීමනාව සඳහා ජනවාරි මාසයේ සිට ගෙවීමට නියමිත රුපියල් ලක්ෂයේ දීමනාව අවශ්‍ය නැති බව කියා සිටින සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාටද ඊට අදාළ චෙක් පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ගෙවීමට කටයුතු යොදා ඇත.

2020 දී අගමැති චමල්

ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවත් එය 2020 වර්ෂයේදී පැවැත්වෙන මැතිවරණයේදී විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට දෙවරක් ඉදිරිපත් වීජනාධිපතිවරයා වුවහොත් ඉන්පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි බවත්, මේ නිසා 2020 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට හෝ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත්විය නොහැකි බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ඩොලරය රු.152ට නගී

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (22 දා) රුපියල් 152 දක්‌වා ඉහළ ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබේ.

පසුගිය කාලය තුළ දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීමට ලක්‌විය.

බුදුරුව සහිත අත්වැසුම් 5424ක්‌ රේගු දැලේ

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ස්‌ලෝවීනියාවට යෑවීමට සූදානම් කර තිබූ බුදුරුව සහිත අත්වැසුම් 5424 ක්‌ ඊයේ (22 දා) අත්අඩංගුවට ගැනීමට රේගුව සමත්ව තිබේ.

මෙම අත්වැසුම් හය බැගින් වූ කාටුන් 904 ක්‌ රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ඡායාරූපයේ දැක්‌වෙන්නේ බුදුරුව සහිත අත්වැසුම් රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්‌වූ අයුරුයි.