අද සහ හෙට තැපැල් කාර්යාල වැසේ

තැපැල් සේවය තුළ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පැය 48ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (20) සහ හෙට (21) රටපුරා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල වසා දැමෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ නව කැඳවුම්කරු එස්.එච්. කාරියවසම් මහතා පැවසීය.

මෙම අරගලය සඳහා රට පුරා සිටින තැපැල් සේවකයින් 21,000කට වැඩි පිරිසක් සහභාගි වී සිටිති. මෙරට ප්‍රධාන තැපැල් කාර්යාල 658ක් පවතින අතර රටේ ඇති උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි. මෙම වෘත්තීය අරගලය හෙට (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුව ද මෙම වෘත්තීය අරගලයෙන් පසුව දින 14ක කාලය තුළ නිසි විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ අරගලයකට යන බව හෙතෙම සඳහන් කළේය.

වෙබ් අඩවිවල වැඩිපුරම අපහාස මටයි

අන්තර්ජාල වෙබ් අඩවි හරහා සිදුකරන අශීලාචාර අවිනීත අපහාස කිරීම්වලට එරෙහිව නීතිමය පියවරගත යුතු යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

මෙම වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාවේ දැනට වැඩිපුරම අපහාසයට ලක්‌වන පුද්ගලයා තමා බවත් එම වාර්තාව කඩන්නට වෙන කාටවත් නොහැකි බවත් ජනාධිපතිවරයා කීවේය.

උ/පෙළ ප්‍රතිඵල ලබන මස මැද

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල ලබන මස දෙවැනි සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා ඊයේ 19 වැනිදා පැවැසීය.

පසුගිය අගෝස්‌තු මස පැවැති මෙම විභාගයේදී තාක්‌ෂණවේදය විෂය ධාරාව යටතේ සිසුන් තිස්‌දහසක්‌ පමණ පෙනී සිටි අතර එම සිසුන්ගේ ප්‍රායෝගික පරීක්‌ෂණ කටයුතුවලට අදාළව දෙපාර්තමේන්තුවට අමතර කාලයක්‌ කැප කිරීමට සිදු වී ඇතැයි ඒ මහතා කීවේය.

පන්නිපිටියේ බෝගහ කපන්න යයි

හයිලෙවල් මහා මාර්ගයේ පන්නිපිටියේ දෙදිසාවට ගමන් ගන්නා මාර්ග හතර සංවර්ධනය කිරීමේ දී රථවාහන ගමනා ගමනයට හරස්‌ව තිබෙන බෝගහ අධිකරණ නියෝගයක්‌ ලබාගෙන කපා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මහතා මහරගම පොලිසියට දැන්වීය.

මෙම දැන්වීම සිදු කළේ පසුගිය 16 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්‌වීමේදීය.

කුරුණෑගල ලයිසියම් පාසලේ නත්තල් බැති ගී

කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසු දරුවන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් පවත්වන ලද නත්තල් බැති ගී වැඩසටහන පසුගියදා විද්‍යාලයීය එළිමහන් උද්‍යානයේ දී පැවැත්විණ .

කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති නිකිත ග්‍රේරු මහතාගේ මගපෙන්වීමෙන් විද්‍යාලයීය ගුරු හා කාර්යමණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .