වරාය සේවකයෝ අද නාවොත් දොට්ට

හම්බන්තොට මාගම්පුර වරායේ සත්‍යග්‍රහයේ නිරත සේවකයින් අද (15) පස්වරු 2.00ට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට අයත් මෙම සේවකයින් සියලු දෙනා උද්ඝෝෂණය නතරකොට අද (15) පස්වරු 2.00 පමණ වන විට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවට එම සමාගම විසින් ද ඊයේ (14) නිවේදනයක් නිකුත් කර ඇත.

හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනා අතරට කුසල්

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයට අයත් ලෝඩ්ස් යූ ටියුබ් චැනලය මඟින් 2016 වසරට අදාළව තෝරා ගත් දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනා අතර 17 ස්ථානය වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.

මෙම තෝරා ගැනීමට අදාළ පළමු ස්ථාන පිළිබඳව මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතත් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඉහළම ස්ථානය වන 12 වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හිමි කරගෙන සිටින අතර 13 වැනි ස්ථානය ඉන්දියාවේ අජින්ක්‍යා රානේ හිමි කරගෙන සිටී.

සාරි අන්දද්දී වෙළෙඳ සේවකයා රහස් පෙදෙස අතගාලා

සංචාරයට පැමිණි සිටි කොරියන් ජාතික 24 හැවිරිදි තරුණියකගේ ඉල්ලීම පරිදි නුවරඑළිය නගරයේ රෙදි වෙළෙඳසලක් තුළදී සාරියක් අන්දවන අතරතුරේ ඇයගේ රහස් පෙදෙස අත ගෑවා යැයි කියන අයෙක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අතවරයට ලක්වූවා යැයි කියන කොරියන් තරුණිය 13 වැනිදා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.

අම්පිටියේ සුමනරතන හිමිට ඇප

අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි සැකපිට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතනයන්ට ඇප ලබා දී තිබේ.

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.සැකකාර හිමියන්ට රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණ.ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

යෝෂිතගේ පෙම්වතිය පොලිසියට හසුවේ‍

මාර්ග නීති උල්ලංඝනය කරමින් කොළඹ – මහනුවර මහා මාර්ගය ඔස්සේ පසුගිය ඉරිදා (11) යෙහෙළියන් පිරිසක් සමග ඩිෆෙන්ඩර් රථයක් පදවාගෙන ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ දියණිය වන 20 හැවිරිදි යොහානා නිට්ටඹුව පොලිසිය මගින් බලවත් පරිශ්‍රමයක් දරා කොටුකරගත් සිද්ධියක් වාර්තාවේ.

අධික වේගය හා ද්විත්ව ඉරි කපමින් වාහනයක් ඉස්සර කිරීම නිසා නවත්වන ලෙස සිදු කළ පොලිස් අණද නොතකා ඇය රථය නොනවත්වා ධාවනය කළ බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කිලෝමීටර් 3ක පමණ දුරක් එම රථය හඹා යාමෙන් අනතුරුව නිට්ටඹුව පස්යාල හන්දිය ආසන්නයේදී මාර්ගයේ හරහට යතුරු පැදිය නතර කර කොටුකරන්නට සිදුව ඇත.