වරාය සේවකයෝ අද නාවොත් දොට්ට

හම්බන්තොට මාගම්පුර වරායේ සත්‍යග්‍රහයේ නිරත සේවකයින් අද (15) පස්වරු 2.00ට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට අයත් මෙම සේවකයින් සියලු දෙනා උද්ඝෝෂණය නතරකොට අද (15) පස්වරු 2.00 පමණ වන විට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවට එම සමාගම විසින් ද ඊයේ (14) නිවේදනයක් නිකුත් කර ඇත.

තමන්ව වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලමින් මෙම සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණයට මේ වන විට දින 9ක් සම්පූර්ණ වී ඇත.
කෙසේ වෙතත් මෙම සේවකයින් හම්බන්තොට වරායට පැමිණි විදේශීය නෞකාවක් ද බලහත්කාරයෙන් රඳවාගෙන ගෙන ගිය මෙම උද්ඝෝෂණය නිසා හම්බන්තොට වරාය ලෝක ප්‍රජාව තුළ අප්‍රසාදයට පත්ව ඇති බවත් එය මාගම්පුර වරායට සිදුවූ බරපතළ හානියක් බවත් අද සේවයට වාර්තා නොකරන අය වෙනුවෙන් හම්බන්තොට මිරිඡ්ජවිල ගමෙන්ම අලුතින් අය බඳවා ගැනීමට අපි අපේක්‍ෂා කරන බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඊයේ (14) පැවැසීය.