හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනා අතරට කුසල්

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයට අයත් ලෝඩ්ස් යූ ටියුබ් චැනලය මඟින් 2016 වසරට අදාළව තෝරා ගත් දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනා අතර 17 ස්ථානය වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත්ව තිබේ.

මෙම තෝරා ගැනීමට අදාළ පළමු ස්ථාන පිළිබඳව මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතත් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඉහළම ස්ථානය වන 12 වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හිමි කරගෙන සිටින අතර 13 වැනි ස්ථානය ඉන්දියාවේ අජින්ක්‍යා රානේ හිමි කරගෙන සිටී.
තවද අංක 14 සිට 20 දක්වා ස්ථාන පිළිවෙළින් ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව), යසීර් ෂා (පාකිස්තානය), මාලන් සැමුවෙල් (බ.ඉන්දීය කොදෙව්), කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකා), චෙතේෂ්වර් පුජාරා (ඉන්දියා), ඉම්රාන් තහීර් (ද. අප්‍රිකාව), සහ ශකීබ් අල් හසාන් (බංග්ලාදේශය) යන ක්‍රීඩකයන්ට හිමිව ඇත.

ඒ අනුව ලෝඩ්ස් දක්ෂතම ක්‍රීඩකයන් 20 ගෙන් 17 වැනි ස්ථානය ලබා ගැනීම සඳහා කුසල් මෙන්ඩිස් ගෙවී යන 2016 වසර තුළ ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර 35.40ක සාමාන්‍යයක් රඳවා ගනිමින් මුළු ලකුණු 805ක් රැස් කිරීමට සමත්ව ඇති අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 2ක්ද ඇතුළත් වේ. එසේම පසුගිය ජනවාරි 16 වැනිදා අයර්ලන්තයට එරෙහිව එක්දින වරම් දිනාගත් කුසල් මෙන්ඩිස් මේ දක්වා එක්දින තරග 17කදී 37.93ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 569ක් රැස් කර ඇති අතර එහිදී අර්ධ ශතක 7ක් ලබා ගැනීමට සමත්ව ඇත.

කෙසේ වෙතත් පසුගිය වසරට (2015) අදාළව පැවැති මෙම තෝරා ගැනීම්හි පළමු ස්ථානය එංගලන්තයේ ජෝ රූට් දිනා ගැනීමට සමත්වූ අතර එහි සිවු වැනි සහ නව වැනි ස්ථාන පිළිවෙළින් කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් දිනා ගනු ලැබූහ.