එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවෝ යළි රිමාන්ඩ්

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ විත්තිකරුවන් සිවුදෙනාට ලබා‍දුන් ඇප නියෝග නොලැබීම නිසා හෙට(22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (20) නියෝග කළේය.

නව මාසක කාලයක් තිස්සේ මෙම සිද්ධියට රක්ෂිත බන්ධනාගරව සිටි බුද්ධි අංශ නිලධාරින් සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අමල් තිලකරත්න මහතා නියෝග කර තිබිණි.

ලේලියට අතවර කළ මාමා රක්ෂිතයට

තම ලේලියට ලිංගික අතවර කරන ලද බවට චෝදනා ලැබූ 51 හැවිරිදි අයෙකු සැප්තැම්බර් 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත‍්‍රාත් ඕෂද විෂාන් ඒකනායන මහතා පසු ගිය නියම කළේය.

සැකකරුගේ පුතාගේ විවාහක බිරිඳ විසින් පසු ගිය 13 වන දින ඌරුබොක්ක පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අය 15 වන දින පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විරැකියා අනුපාතය පහළ බසී

මෙරට විරැකියා අනුපාතය සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ‍ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සේවා අංශයේ රැකියා ජනනය ඊට හේතු වී තිබේ. මේ වසරේ පළමු කාර්තුව අවසානයේ දී දිවයිනේ මුළු රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව හැත්තෑනව ලක්ෂ හැටනවදාහක් වී ඇතැයි ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම කාලය තුළ සේවා අංශයේ නව රැකියා 155,638 ක් හා කර්මාන්ත අංශයේ නව රැකියා 72,273 ක් බිහි වී තිබේ.

වසර 800ක් පැරැණි මුද්‍රාවක් ශ්‍රී පාදයෙන් හමුවෙයි

අදින් වසර 800කට පමණ පෙර රත්නපුර, ශ්‍රී පාද අඩවියේ පිහිටි භික්ෂු පිරිවෙනක භාවිත කරන ලද ඉපැරැණි නිල මුද්‍රාවක් පැල්මඬුල්ල රජමහා විහාරස්ථානයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

මහා පරාක්‍රමබාහු රජ සමයේ (1391-1397) දක්වා කාලයේ ශ්‍රී පාද අඩවියේ පිහිටි දේවප්‍රතිරාජ පිරිවෙනේ නිල මුද්‍රාව ලෙස දැනට හඳුනාගෙන ඇති මේ මුද්‍රාව රත්නපුර, පලාබද්දල ගමේ පදිංචි තිලකසිරි අමරසිංහ මහතාට පලාබද්දල ප්‍රදේශයේදී හමු වී තිබේ.

බලු පැටියා හපා කාලා මාස 3කට පස්සේ දරුවා මැරිලා

නිවෙසේ සුරතලයට ඇති කළ බලු පැටවකු සපා කා මාස තුනකට පසු ජලභීතිකා රෝගය වැලඳුණු වයස අවුරුදු නමයක දරුවකු මියගොස් ඇතැයි පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නන්දන දයාසිරි ගමගේ මහතා කීය.

මියගොස් ඇත්තේ පොල්පිතිගම ප්‍රදේශයේ පාසලක හතර වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි.
මීට මාස තුනකට පමණ පෙර අත්තම්මාගේ නිවෙසේ සුරතලයට ඇති කළ බලු පැටවකු දරුවාගේ පාදයක් සපා කා ඇති බවත් පැවැසේ. එහෙත් දරුවාට ජලභීතිකා මර්දන එන්නත් හෝ ඔෟෂධ ලබාදීමට වැඩිහිටියන් කටයුතු කොට නැති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.