නාමල්ගේ සමාගමේ අධ්‍යක්‍ෂවරියකට ඉන්ටර්පෝල් වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස්‌ කෝපරේටඩ් සමාගමේ අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ මේ වන විට විදේශගතවී ඇතැයි කියන ඉරේෂා ද සිල්වා නමැත්තිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (19 වැනිදා) ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළේය.

පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ලංකාවේ සුනඛයාට ලෝක සම්මානයක්‌

ලෝකයේ යුද ගැටුම් පවතින රටවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මෙවර යොදවා සිටින සුනඛයන් දහසක්‌ අතරින් ශ්‍රී ලංකා යුද හමුදාවේ "ඇල්වින් මැජිස්‌ටින්" වැඩිම බිම් බෝම්බ ප්‍රමාණයක්‌ සොයාගත් සුනඛයා ලෙස ලෝක සම්මානයට හිමිකම් කියා තිබේ.

ඒ අනුව ලබන ඔක්‌තෝබර් මාසයේ දී ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ දී ශ්‍රී ලංකා යුදහමුදා ඇල්වින් මැජිස්‌ටින් සුනඛයාට මෙම සම්මානය පිරිනැමීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටී.

ලංකාවේ දෙවැනි අගනගරය බවට කඩුවෙල පත්වෙනවා

පසුගිය වසර 30 තුළ කොළඹ නගරයේ ජනගහණයේ වැඩිවීමක්‌ වූයේ නෑ. එහෙත් කඩුවෙල ප්‍රදේශයේ සීඝ්‍ර වැඩිවීමක්‌ දකිනවා. වෘත්තීයවේදීන් රාශියක්‌ මේ ප්‍රදේශයේ ජීවත් වන අතර රාජ්‍ය ආයතන රාශියක්‌ මෙම ප්‍රදේශයේ ස්‌ථාපිත කර තිබෙනවා. ඒ අනුව කොළඹට වඩා ශක්‌තිමත් නගරයක්‌ බවට කඩුවෙල පත්වෙන අතර ශ්‍රී ලංකාවේ දෙවැනි අගනගරය බවට තව සිව් වසරක්‌ තුළ මෙය පත් කරනවා.....යෑයි මහානගර බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ රුපියල් මිලියන 213 ක්‌ වැය කරමින් ස්‌ථාපිත කිරීමට නියමිත කඩුවෙල නව සතිපොළ සහ අතිරේක බස්‌නැවතුම්පළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

මහනුවර ධර්මරාජයේ විදුහල්පති ආනන්ද විදුහලට

කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා දකුණු පළාතට අනුයුක්‌ත කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කර ඇත.

ආනන්ද විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති එස්‌. එම්. කීර්තිරත්න මහතා පත් කිරීමට නියමිත අතර, ධර්මරාජ විදුහලේ විදුහල්පති ධුරය සඳහා හිටපු ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයකු වන රංජිත් චද්‍රසේකර මහතා පත් කිරීමට නියමිතය.

අලුත් වැට් පනතක් එයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග අලුතින් ඉදිරිපත් කිරීමට නියමිත වැට් බදු සශෝධන පනත් කෙටුම්පත සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස්ද ඇතුළත්කොට පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය තීරණය කර ඇත. 

වැට් බදු සංශෝධනය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉකුත් සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව ගෙන තිබේ.