ඩලස් ඉල්ලා අස්වෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ.

ඒ මහතා මේ බව පැවසුවේ අද (19) ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

උසේන් බෝල්ට් මීටර 200 ත් ජය ගනී Video

රියෝ ඔලිම්පික් උලෙළේ මීටර 200 ඉසව්වේද රන් පදක්කම තමන් සතුකරගැනීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් අද (19දා) සමත්විය.

තත්. 19.78ක දක්‍ෂතාවක් දක්වමින් බෝල්ට් සිය පදක්කමට හිමිකම් කීවේය. කෙසේ නමුත් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන බෝල්ට්ට නැවත වරක් එම දක්‍ෂතාව අලුත්කිරීමට මෙම තරගයේදී අවස්ථාවක් හිමි නොවුණි. බෝල්ට් 2009 වසරේ ජර්මනියේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්. 19.19කින් සිය ඉසව්ව අවසන් කර මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියයි.

ජාතික ආණ්ඩුවේ පළමු සංවත්සරය අද

යහපාලන ජාතික රජයේ පළමු සංවත්සරය අදට (19) යෙදී තිබේ.

එහි සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.ඒ අනුව අද පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී එය උත්සවාකාරයෙන් සැමරීමට සියලු කටයුතු සූදානම්කර ඇති බව වාර්තා වේ.

විජයදාසට විගණකාධිපති විරෝධය

සමස්ත රාජ්‍ය සේවයම යට කෙරෙන ඒකාධිපති විගණන කොමිසමක් පිහිටුවීමට යන බවට වැරැදි ආකල්පයක් ඇතිවන අන්දමෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍යට කර ඇති ප්‍රකාශයට බලවත් කනගාටුව ප්‍රකාශ කරන නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතා ඇමැතිවරයාගේ එම අදහස් ප්‍රතික්ෂේප කරයි.

විගණන කොමිෂන් සභාවේ කාර්ය සහ කාර්තව්‍ය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇතැයිද එම කොමිෂන් සභාව පත්කර ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා පරිපාලන ස්වාධීනතාව වෙනුවෙන් යැයිද පිහිටුවීමට අපේක්ෂිත රාජ්‍ය සේවා විගණන සේවාවේ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් සහ විනය කටයුතු විගණන කොමිසමට එම පනතින් පැවැරෙන්නේ යැයිද ජාතික විගණන ආයතනයේ අය - වැය සම්බන්ධ පරීක්ෂා කර කතානායකවරයාට ඉදිරිපත් කිරීමේ කාර්යභාරයක් විගණන කොමිෂන් සභාවට පැවැරෙන්නේ යැයිද කීය.

ත්‍රිරෝද රියැදුරන් මත්කල හොරා මෙන්න

ත්‍රිරෝද රථවල නැඟී දුර ගමන් යන මුවාවෙන් ගොස් අතරමඟදී බීම වර්ග දී රියැදුරුන් මත් කොට රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ ජාවාරමක නිරත පුද්ගලයකු පිළිබඳ තොරතුරු හොරණ හා අවට පොලිස් වසම් ගණනාවකින් මේ වනවිට වාර්තා වෙමින් තිබේ.

අසල පෙදෙසකට යෑමට මෙන් මුලින්ම ත්‍රිරෝද රථවලට ගොඩවන මොහු ටිකක් දුර යෑමේදී පැමිණෙන දුරකතන ඇමතුමකට ප්‍රතිචාර ලෙස ගමන් මඟ වෙනස් කරමින් තරමක් දුර ගමන් කරන්නේ රියැදුරා වෙහෙසට පත්වන අයුරිනි. පසුව අසල වෙළෙඳසලක් ළඟ ත්‍රිරෝද රිය නවත්වා බීම හෝ තැඹිලි වැනි දෙයක් තමන්ද පානය කරමින් රියැදුරාටද ගෙන එයි.