ජල ගාස්‌තු නැංවීමට අනුමැතිය ඉල්ලයි

ජල ගාස්‌තු ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ඉල්ලා යෝජනාවක්‌ ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැතිවරයා විසින් මේ යෝජනාව ඇමැති මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර එයට මේ වන තෙක්‌ අනුමැතිය හිමිව නැත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ජල ගාස්‌තු ඉහළ දැමීම සඳහා වන යෝජනාව අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව මෙසේ කැබිනට්‌ අනුමැතියටද යොමුකර ඇත.

මහින්ද නාමල් බලන්න වැලිකඩට

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) දහවල් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.හිටපු ජනාධිපතිවරයා ඊයේ (16) දහවල් 12ට පමණ බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර එහිදී බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ කාර්යාලයේදී හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත.

මෙම අවස්ථාවේදී විශේෂ බන්ධනාගාර ආරක්ෂක නිලධාරියකු සමග නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පැයකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයා සමග කතාබහ කිරීමට අවස්ථාව හිමි වී තිබේ.

නාමල්ගේ ගුවන් සේවිකාව රිමාන්ඩ්

ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළ නිත්‍යා සේනානි සමරනායක අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කරනු ලදුව අගෝස්තු 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

පසුගිය රජය සමයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී ඇය මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ කටයුතු සඳහා නිදහස් කර තිබිණි.

යුධ හමුදාපතිට තවත් වසරක සේවා දිගුවක්

ජනාධිපතිවරයා විසින් වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට තවත් වසරක සේවා දිගුවක් ලබාදී ඇත.

ඔහුගේ සේවා කාලය අගෝස්තු මස 21දා අවසන්වීමට නියමිතව තිබුන අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් 22 දා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසරක සේවා කාලයක් ඔහුට ලබාදී ඇතැයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ඩිල්ෂාන් ක්‍රිකට් පිටියට සමුදීමේ සුදානමක්

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සුදානම් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය අතරතුර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සුදානම් බවයි වාර්තාවන්නේ.කෙසේවෙතත් ඔහු සමුගන්නා බව නිලවශයෙන් ප්‍රකාශ කර නැ.