ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් අංක එක ගැලවෙයි?

ශ්‍රී ලංකාව සමඟ සෙනසුරාදා (13දා) පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වුවහොත් තවදුරටත් ඕස්ට්‍රේලියානුවන්ට ටෙස්ට් ශේ‍ර්ණි සටහනේ පෙරමුණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

මේ වනවිට ටෙස්ට් ශේ්‍රණි ලකුණු 118ක් ලබා ඇති ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වුවහොත් ශේ්‍රණිගත ලකුණු 108ක් දක්වා අඩු වී යා හැකි අතර, ඉන්දියානුවන් කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගතහොත් (මේ වනවිට ඉන්දියාව තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියෙන් සිටී) ඉන්දියාවට ටෙස්ට් අංක එක ලබාගැනීමට හැකියාව පවතී. 

දයා මාස්ටර්ට උසාවියෙන් කැඳවීමක්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට වවුනියාව අධිකරණයේ අද (10දා) පෙනී සිටින ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කොට ඇත.

වවුනියාව අධිකරණ ආරංචි මාර්ග පැවැසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරී ලෙස සේවය කළ පිරිස සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අනුව දයා මාස්ටර්ට අධිකරණයේ පෙනී සිටීමට පෙරේදා (8දා) නියෝග කොට ඇති බවයි.

අලින්ට ඇද්ද කරන්ට් එක ළමයාට වැදිලා

වීරවිල කුඩා ගම්මාන දහ අටේ කෙසෙල් වගාවක් වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනාරක්ෂිතව ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් විදුලිසැර වැදී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පෙරේදා (8දා) සවස මියගොස් ඇත. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර ඔහු සිය මාමා සමඟ කෙසෙල් වගාවේ වැඩ කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී මියගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම අනාරක්ෂිත විදුලි රැහැන ඇද්ද බව කියන මාමා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මහින්ද කොරියානු පාර්ලිමේන්තුවට (VIDEO)

දකුණු කොරියාවේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(08) එරට පාර්ලිමේන්තු පරිශ්‍රය නැරඹීමට එක්විය.

එහිදී ඔහු කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හමුවී සාකච්ඡාවක නිරතවී තිබේ.

කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක සිම් චූ ලේගේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොරියානු පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

ලංකාවට අමුතු වැස්සක්

සුවිශේෂීම වූ ‘පර්සීඩ්’ උල්කා වර්ෂාවක් මේ මස 10,11.12,13 හා 14 යන දිනවල ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට හැකිවන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ තාරකා විද්‍යාව පිළිබද ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. 

විශේෂයෙන් 11,12 හා 13 යන දිනවල මේ උල්කා වර්ෂාවේ උච්චතම අවස්ථාව ලෙස තාරකා විද්‍යාඥයන් අනුමාන කර ඇති බවද වික්‍රමරත්න මහතා කීවේය. මෙවැනි පර්සීඩ් උල්කා වර්ෂාවක් 2014 අගෝස්තු 11 වැනිදා සක්‍රිය වූ අතර එදින රජරට ජනතාව මහත් භීතයට පත්වූයේ උල්කා වර්ෂාව ගිගුරුමකින් හට ගත් නිසා බවද වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.