අලින්ට ඇද්ද කරන්ට් එක ළමයාට වැදිලා

වීරවිල කුඩා ගම්මාන දහ අටේ කෙසෙල් වගාවක් වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනාරක්ෂිතව ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් විදුලිසැර වැදී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පෙරේදා (8දා) සවස මියගොස් ඇත. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර ඔහු සිය මාමා සමඟ කෙසෙල් වගාවේ වැඩ කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී මියගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම අනාරක්ෂිත විදුලි රැහැන ඇද්ද බව කියන මාමා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මියගිය ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (9දා) දහවල් අඟුණුකොළපැලැස්ස හදිසි මරණ පරීක්ෂක විමල් ගුරුසිංහ මහතා විසින් සිදු කරන ලදී.
වීරවිල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.