ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් අංක එක ගැලවෙයි?

ශ්‍රී ලංකාව සමඟ සෙනසුරාදා (13දා) පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වුවහොත් තවදුරටත් ඕස්ට්‍රේලියානුවන්ට ටෙස්ට් ශේ‍ර්ණි සටහනේ පෙරමුණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

මේ වනවිට ටෙස්ට් ශේ්‍රණි ලකුණු 118ක් ලබා ඇති ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වුවහොත් ශේ්‍රණිගත ලකුණු 108ක් දක්වා අඩු වී යා හැකි අතර, ඉන්දියානුවන් කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගතහොත් (මේ වනවිට ඉන්දියාව තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියෙන් සිටී) ඉන්දියාවට ටෙස්ට් අංක එක ලබාගැනීමට හැකියාව පවතී. 

යම් හෙයකින් මේ වන විට පැවැත්වෙන එංගලන්ත-පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය 3-1ක් ලෙස ජයගැනීමට සමත් වුවහොත් (එංගලන්තය මේ වනවිට ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටී) ඔවුන්ටද ශේ්‍රණිගත ලකුණු 112ක් ලබා ඉන්දියාව සමඟ සමතැන් ගැනීමට හැකියාව ඇත.

යම් හෙයකින් ඉන්දීය-කොදෙව් හා එංගලන්ත-පාකිස්තාන අවසන් ටෙස්ට් තරග විසඳුමකින් තොරව අවසන් වුවහොත් එංගලන්තය ශේ්‍රණිගත ලකුණු 110ක් ලබා ටෙස්ට් අංක එකට පත්වීමට හැකියාව ඇති අතර, ඉන්දියාවටද ශේ්‍රණිගත ලකුණු 110ක් ලබා දෙවැනි තැනට පත්වීමට අවකාශය සැලසී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානුවන් සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය දැනටමත් 2-0ක් ලෙස ජයගෙන ඇති හෙයින් මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර සිටි ශේ්‍රණි ලකුණු ප්‍රමාණය 85 සිට 94 දක්වා ශේ්‍රණි ලකුණු 9ක් එකතු කරගෙන 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා දකුණු අප්‍රිකානුවන් අභිභවා පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටී.

එසේම ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට ජයගැනීමට හැකියාව ලැබුණහොත් තමන් සිටි අංක එකේ ස්ථානය (ශේ්‍රණිගත ලකුණු 111ක් ලබා) ආරක්‍ෂා කරගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව පවතින නමුත් මෙය සිදුවිය හැක්කේ ඉන්දියා-කොදෙව් අවසන් ටෙස්ට් තරගයත්, එංගලන්ත-පාකිස්තාන අවසන් ටෙස්ට් තරගයේත් විසඳුම අනුවය.
සටහන _ විචිත්‍ර වීරසිංහ