පාද යාත්‍රාවේ කෑ ගැසූ දරුවා ගැන පරීක්ෂණයක්

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ පාද යාත්‍රාවේදී ආණ්ඩුව විවේචනය කරමින් කෑ ගැසූ කුඩා දරුවාගේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කළ බව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසීය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් කුඩා දරුවාගේ හැසිරීම දෙමව්පිය අනුදැනුම ඇතිව හෝ නැතිව සිදුවූ දෙයක්ද යැයි සොයා බලන ලෙසද ඇය ළමා ආරක්ෂක අධිකාරියට නියෝග කර තිබේ.

මහින්ද සතියකට දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතියක කාලයක් සඳහා දකුණු කොරියානු සංචාරයක් සඳහා අද (4දා) පිටත්ව යාමට නියමිතව ඇත.දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඇරයුමකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙසේ දකුණු කොරියානු සංචාරයකට එක්වේ.

මෙම සංචාරයට හිටපු ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙක් එක්වීමට නියමිතය.

තාජුඩීන් ඝාතනය කළ දා ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් ඇමතුම්

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින රාත්‍රියේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ දුරකථන භාවිතා කොට එවකට නාරාහේන්පිට ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබි ඇති බව අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සූක්ෂම ලෙස විමර්ශන සිදුකරන්නේ යැයි නීතිපතිවරයා අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය.

එම ඝාතනය සිදුවූ දින ජනාධිපති ‍ලේකම් කාර්යාලය නමින් නිකුත් කර ඇති දුරකථන තුනකින් හිටපු ‍පොලිස් ස්ථානාධිපති ඩේමියන් පෙරේරා යන අයට දුරකථන ඇමතුම් තුනක් ලැබි ඇති බවට අනාවරණය වී ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා එහිදී දැනුම් දුන්නේය.

පාතාලයේ පොඩි චානක වෙඩි කා මරු දකී

හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම්, මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල ලෝකයේ ප්‍රබලයකු බව කියන චාමික මධුරංග නොහොත් පොඩි චානක නමැත්තා ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ විසින් බොරලැස්‌ගමුව කටුවාවල ප්‍රදේශයේදී පෙරේදා (02 වැනිදා) රාත්‍රි වෙඩි තබා ඝාතනය කර ඇත.

පොඩි චානක නමැත්තා පිළියන්දල ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යතුරුපැදියකින් යමින් සිටියදී ඔහු පසපස මෝටර් රථයකින් පන්නාගෙන ආ සන්නද්ධ පිරිසක්‌ විසින් මඟ හරස්‌ කර ඔහු නවතා තිබේ.

සිංහල මුස්ලිම් ජනයා උතුරේ පදිංචි කරන්න එපා

උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට එම පළාතේ ජනතාව අකැමැති බැව් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

උතුරු පළාතේ සංචාරයකට එක්වූ කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අතර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා එලෙස පැවැසීය.

උතුරු පළාත් සභාව, දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාතේ දෙමළ ජනතාව එලෙස විරෝධතාව දක්වන්නේ සිංහල ජනතාව හෝ මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයකින් නොවන බවද මහ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.