රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර

රාජ්‍ය නිලධාරීන්ට වටිනාකම ඇමෙරිකන් ඩොලර් තිස් දාහක උපරිමයකට යටත්ව සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමට රජය යළිත් තීරණය කර තිබේ.බලපත්‍රයේ වටිනාකම සඳහා ගෙවිය යුතු මුළු බද්දෙන් සියයට පනහක බදු සහනයක්ද හිමිවේ.

නිලධාරියකුට ලබා ගත හැකි උපරිම බලපත්‍ර සංඛ්‍යාව දෙකකි. මීට පෙර මෝටර් රථ බලපත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබා දී ඇති නිලධාරීන්ට මේ වරප්‍රසාදය හිමි නැත. පළමු බලපත්‍රය ලබාගත් පසුව දෙවැනි බලපත්‍රයේ හිමිකම වසර දහයකින් පසුව හිමිවෙයි.

පාද යාත්‍රාවට අලුත්කඩෙන් නියෝගක්

'ජන සටන පාද යාත්‍රාව' අවසන් දිනය වන අද (1දා) දින මහජන සාමයට බාධාවක් නොවන ආකාරයෙන් සහ දේපළවලට අලාභහානි කිරීමෙන් තොරව සාමකාමීව කටයුතු කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ට නියෝග කළාය.

පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙලෙස නියම කෙළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, කනක හේරත්, ප්‍රසන්න රණවීර සහ අමිල කුමාරසිංහ යන මහත්වරුන්ටය.

මහින්දගේ කොළඹ රැස්වීම තියන තැන රහසක්ලු

ආණ්ඩුවට සිතාගැනීමටවත් නොහැකි තැනක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයක ක්‍ෂණික වේදිකාවක් නිර්මාණය කර ජන සටන පාද යාත්‍රාවේ අවසන් ජන රැලිය අද (1දා) සවස පැවැත්වීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙම ජන සටන ජන රැලිය ඇමැතීමට නියමිත බවත් එහිදී වත්මන් ආණ්ඩුවට ප්‍රබල රතු එළියක් එල්ල කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පැවැසීය.

පාද යාත්‍රා යන අයගේ මන්ත්‍රී ධුර අහෝසි කරනවා

පක්ෂ විනය කඩකරමින් ශ්‍රීලනිපය දෙකඩකිරීමේ අරමුණින් පාද යාත්‍රා යන පිරසට එරෙහිව විනයානුකූල පියවරගෙන ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කරදැමීමට පියවර ගන්නා බව සමාජ සුබ සාධන හා සමාජ සවිබලගැන්වීමේ ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයයැයි කියා ගනිමින් මෙම පිරිස පක්ෂයට සිදුකරන හානිය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය සඳහා මෙම පිරිස ඉවත්කර ඒ වෙනුවට නව ආසන සංවිධාකවරුන් පත්කරන බවද ඒ මහතා කීය.

පාද යාත්‍රාකරුවන්ට ජරා ආහාර කන්න දීලා!

මහනුවර සිට කොළඹ බලා ගමන් ගන්නා පාද යාත්‍රාව යක්කල ප්‍රදේශයේ පසුකරද්දී ඊයේ (31) දහවල් ලබාදෙන ලද ප්‍රමිතියකින් තොර දිවා ආහාර නිසා උදරාබාධයන්ට ලක්වූ පා ගමන්කරුවන්ට අවට නිවාස හා හෝටල්වල වැසිකිලි සොයා යෑමට සිදුවිය. අසාධ්‍ය තත්ත්වයට පත්වූ එක් අයකුට ඊයේ දහවල් ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට සිදුවී තිබේ.

පාගමනට සහභාගිවූ පිරිස් සඳහන් කරන්නේ තමන්ට මෙවැනි ආහාර ලබා දුන්න ද මන්ත්‍රීවරුන් ප්‍රමිතියෙන් යුත් ආහාර ලබාගැනීමට කටයුතු කළ බවය.