බැසිල් යළි රිමාන්ඩ්

බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන 8 වැනිදා තෙක් අද (1) යළි රිමාන්ඩ් කරනු ලැබීය.

පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

රනිල්ව පපුවේ කොටාගෙන

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රුව ඇතුළත් පච්චා කොටා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ අපට හමුවුණා.

ඒ අයුරින්ම වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් පච්චයක් කොටාගත් පුද්ගලයෙකුගේ ඡායාරූප මේ වන විට ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි පුරා හුවමාරු වනවා.

රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර

රාජ්‍ය නිලධාරීන්ට වටිනාකම ඇමෙරිකන් ඩොලර් තිස් දාහක උපරිමයකට යටත්ව සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමට රජය යළිත් තීරණය කර තිබේ.බලපත්‍රයේ වටිනාකම සඳහා ගෙවිය යුතු මුළු බද්දෙන් සියයට පනහක බදු සහනයක්ද හිමිවේ.

නිලධාරියකුට ලබා ගත හැකි උපරිම බලපත්‍ර සංඛ්‍යාව දෙකකි. මීට පෙර මෝටර් රථ බලපත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබා දී ඇති නිලධාරීන්ට මේ වරප්‍රසාදය හිමි නැත. පළමු බලපත්‍රය ලබාගත් පසුව දෙවැනි බලපත්‍රයේ හිමිකම වසර දහයකින් පසුව හිමිවෙයි.

පාද යාත්‍රාවට අලුත්කඩෙන් නියෝගක්

'ජන සටන පාද යාත්‍රාව' අවසන් දිනය වන අද (1දා) දින මහජන සාමයට බාධාවක් නොවන ආකාරයෙන් සහ දේපළවලට අලාභහානි කිරීමෙන් තොරව සාමකාමීව කටයුතු කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ට නියෝග කළාය.

පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙලෙස නියම කෙළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, කනක හේරත්, ප්‍රසන්න රණවීර සහ අමිල කුමාරසිංහ යන මහත්වරුන්ටය.

මහින්දගේ කොළඹ රැස්වීම තියන තැන රහසක්ලු

ආණ්ඩුවට සිතාගැනීමටවත් නොහැකි තැනක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයක ක්‍ෂණික වේදිකාවක් නිර්මාණය කර ජන සටන පාද යාත්‍රාවේ අවසන් ජන රැලිය අද (1දා) සවස පැවැත්වීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙම ජන සටන ජන රැලිය ඇමැතීමට නියමිත බවත් එහිදී වත්මන් ආණ්ඩුවට ප්‍රබල රතු එළියක් එල්ල කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පැවැසීය.