රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 80 කි.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා කොළඹදී උපන් රෝයි ද සිල්වා යන නාමය හෙළ සිනමා ඉතිහාසය තුළ රන් අකුරින් සනිටුහන්ව තිබේ.

රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයෙකු මෙන්ම පසුබිම් ගී ගායකයෙකු ලෙස හෙළ සිනමාව සුපෝෂණය කිරීමට ඒ මහතා දැක්වු දායකත්වය අති විශාලයි.

මධු සිහින, සැනසිලි සුවය, පික්පොකට්, මේ දෑස කුමටද, මිනිසුන් අතර මිනිසෙක්, මිහිඳුම් සිහින සහ ඔබට දිවුරා කියන්නම් ආදී චිත්‍රපට විශාල ප්‍රමාණයක් ඔහු සිය රංග ප්‍රතිභාවෙන් වර්ණවත් කළේය.

1990 දශකයේ සිනමාවේ කඩා වැටීමක් පැවති යුගයේ සිනමා පට 7 ක් අධ්‍යක්ෂණය කරමින් ආදායම් වාර්තා අතරට පැමිණෙන්නට ඔහුට හැකි වන්නේ බිඳ වැටුණු සිනමාවට යළි ජීවය දිය හැකි බව රටටම පෙන්වා දෙමිනි.

සුමිතුරෝ, චෙරියෝ ඩාලිං, චෙරියෝ කැප්ටන්, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, රැජිණ මමයි, විජේ සහ අජේ, ඔක්කොම කණපිට සහ ගෙදර බුදුන් අම්මා යන ආදී සිනමා පට රැසක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවිය.

එදා ආදායම් වාර්තා තබමින් තිරගත වූ ඔහුගේ සිනමාපට ප්‍රේක්ෂක හදවත් තුළ අදටත් ජීවමානයි.

සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් අරගල කළ සිනමාකරුවන් අතර රෝයි ද සිල්වා යන නාමය ජන ප්‍රසාදිතයි.

රංගනය ඉක්මවා ගිය භූමිකා රැසක් ඔස්සේ 71 වසරක සිංහල සිනමාවේ ස්වර්ණමය මතක තැබූ රෝයි ද සිල්වා මහතාණෙනි ඔබට නිවන් සුව…!!