අායෙත් අාණ්ඩුවට යන්නේ අගමැතිකම දෙනවා නම්

සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු

කතා කරලා තනතුරු නැතිවීමයි හොරාකාලා තනතුරු නැතිවීමයි දෙකක්
ආණ්ඩුවට ගහන්න එපා කියලා ජනාධිපතිතුමා අපට කියලා නෑ
මේ රටේ ජනප්‍රියම නායකයා මහින්ද මහත්තයා
සමහරවිට මටත් නීතිය නැවෙන්න පුළුවන්
ආණ්ඩු පක්ෂයේ හිටියට මම සතපහක් හම්බ කරලා නෑ
ආණ්ඩුව එක්ක හිටියොත් තියන ඡන්දෙත් නැතිවෙනවා

ඔබ මුල ඉඳලම කිව්වා ආණ්ඩුවෙන් අච්චරක් යනවා මෙච්චරක් යනවා කියලා. අන්තිමට එළවලා දැම්මේ ඔබවයි?

මම කිව්වේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාපුවම ඒකට විරුද්ධව ඡන්දය දීලා යනවා කියලයි. මම අදටත් කියන්නේ 20 වන යෝජනාවේදි හරි පළාත් පාලන යෝජනාවේදි හරි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවේදි හරි විශාල පිරිසක් ආණ්ඩුවෙන් එළියට යනවා කියලයි.

මෙතන වුණේ ඔබ අයින් වුණා නෙවෙයි එ‍ලෙව්වා?

එක අතකින් කනගාටුවක් නෑ එහෙම වුණාට. මොකද මම මුල ඉඳලම ස්ථාවරයක හිටියා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා මේක යහපාලනය නම්, ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා නම් ඇයි අපිට කතා කරන්න නිදහසක් නැත්තේ කියලා. අපි කතා කළේ රට ගැන. මේ ආණ්ඩුවේ ගමන නිවැරදි කරන්න, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය. ඉතින් මේවා කතා කරන්න ගිහිල්ලයි මෙහෙම වුණේ.

මාළුවා නැහුණේ අන්තිමට කට නිසා නේද?

නෑ එහෙම එකක් නෙවෙයි. මේ පුදුමසහගතයි. හේතුව ප්‍රශ්නයක් කතා කරලයි මෙහෙම වුණේ.

ඔබට අවශ්‍ය වුණෙත් තනතුරෙන් අඩුකරවාගෙන ඡන්ද මල්ල වැඩිකරගන්න නේද?

නෑ ඇත්තමයි මේ ආණ්ඩුවත් එක්ක තව හිටියොත් ඡන්ද නැතිවෙනවා. මේ ආණ්ඩුවත් එක්ක තව හිටියොත් ගම නැතිවෙනවා. තව දවස් ටිකකින් මිනිස්සු පාරට බහී. ඔබ කියන පැත්තෙනුත් සාධාරණයි. හැබැයි ඡන්ද විතරක් නෙවෙයි මේ රටේ දැන් ඇතිවෙලා තියෙන්නේ. ඉතාමත් නරක තත්ත්වයක්.

පක්ෂයක් ආණ්ඩුවක් වුණාම විනයක් තියෙන්න ඕන. ඔබ පසුගිය කාලෙම ආණ්ඩුව විවේචනය කරමින් විනය විරෝධි ලෙස හැසිරුණේ. එක අතකින් මේ ගත්ත තීරණය සාධාරණයි නේද?

විනය ක්‍රියාමාර්ග ගන්නවා නම් එහෙම කරන්න ඕන අය ඇති තරම් මේ ආණ්ඩුවේ ඉන්නවා. දැන් බලන්න ඇත්තටම අපි කනගාටු වෙනවනේ විජේදාස රාජපක්ෂ මහත්තයා ඉවත් කළ එකට. ඒත් අපි කනගාටු වෙනවද රවී කරුණානායක මහත්තයා ඉවත් කළාට. අද ඒ නිසා කතා කරලා තනතුරු නැති වෙන එකයි හොරා කාලා නැතිවෙන එකයි දෙකක්. අපි කතා කරලා ඉවත් කළේ. ඒ දේවල් පක්ෂ වලට සාධාරණීකරණය කරන්න බෑ.

ඔබ ආණ්ඩුවට එකතු වෙලා මෛත්‍රිපාල ජනාධිපතිවරයාගෙන් නියෝජ්‍ය ඇමැතිකමක් ගත්තා. ඒ අරගෙන ඉන්නකොට මහින්ද රාජපක්ෂ මහත්තව ජපානයේදි හම්බුණා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයගේ පක්ෂ කාර්යාලයට ගියා. ඔබත් වැරදියි නේද? ශ්‍රීලනිපය අත්හළ පිරිසක් සමඟ එකතුවෙන එක?

ඇයි එහෙම පටු විදිහට බලන්නේ. ඇයි ඔවුන් නෙරපපු කණ්ඩායමක් කියන්නේ. අපි 2015 හිටපු ජනාධිපතිතුමා ජනාධිපති කරන්න බැලුවා. ඊට පස්සේ අගමැති කරන්න බැලුවා. ඒත් හරි ගියේ නෑ. ඒ අය කල්ලතෝනි කණ්ඩායමක් නෙමෙයිනේ. ඒ අයත් මේ පක්ෂයේ අය. 2020 ජනාධිපතිවරණයට සුදුසු නම් අතර තියෙත ඉහළම නමක් තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. ඒ වගේම මේ රටේ ජනප්‍රියම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ දෙගොල්ලෝ එක් වුණොත් තමයි ශ්‍රීලනිප ඡන්ද දායකයා ඡන්දය දෙන්නේ. ඉතින් මම ගියේ මේ හැමතැනටම සමගිය ඇති කරන්න. මට පක්ෂය එකතු කරන්න ඕන නම් නෙළුම් මාවතට නෙවෙයි අපායට වුණත් යනවා.

දැන් ඔබව ඉවත් කරපු ගමන් ජනාධිපතිවරයාව හම්බවෙන්න ගියා. හදිසියේම ඇයි ඒ ගියේ?

මට ලබාදීලා තියෙන ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව මන්ත්‍රීවරයකු වුණායින් පස්සේ දෙදෙනකුට සීමා වෙනවා. එතකොට මට විශ්වාසවන්ත දෙන්නෙක් ළඟ තියා ගන්න ඕන. ඒ නිසයි මම කතා කරන්න ගියේ. එහෙම නැතුව වෙන ලාභ ප්‍රයෝජන ගන්න යන්නේ නෑ.

ඇත්තද ඇමැතිකම ඉල්ලුවා කියන්නේ?

අනේ නෑ. මට ඔය ඇමැතිකම එපා. ආයි බාරගන්නෙත් නෑ. ආයි ආණ්ඩුවට යන්නේ අගමැතිකම වගේ දෙනවා නම්. කොහොම වුණත් ආයිත් ඇමැතිකම් ගන්න බලාපොරොත්තුවක් නෑ. මම ජනාධිපතිතුමාට කිව්වා එතනදි මෙතනින් පස්සේ ආණ්ඩුවට දිගටම ගහනවා කියලා. මම එතුමා එක්කවත් ශ්‍රීලනිප එක්කවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ආණ්ඩුව පෙරළනකල් ගහනවා කියලා කිව්වා මම එතුමාට. අපිට ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්නයක් නෑ. එතුමව ඕන වෙලාවක හමුවෙනවා.

ඇත්තද ඔබ ජනාධිපතිට පොරොන්දු වුණා කියන්නේ ශ්‍රීලනිපය අත්ඇරලා යන්නේ නෑ කියලා?

අනිවාර්යයෙන්ම. අපිට පක්ෂයෙන් යන්න බෑනේ. අපේ පවුල් පසුබිම හැදිලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. අපි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය අනුගමනය කරපු අය. අවුරුදු 17ක් එජාපයේ මැරතර්ජන වලට මුහුණ දුන්නා. අපේ මහප්පා තමයි මාව දේශපාලනයට ගෙනාවේ. එතුමට පවා ජීවිතය නැති වුණේ මේ පක්ෂයට වැඩ කරලා. ඒ නිසා මේ පක්ෂයට අපි ආදරෙයි. පක්ෂය විනාශ වෙන්න දෙන්නෙ නෑ කොයිම වෙලාවකවත්.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කොහොමද?

ජනාධිපතිතුමා ක්‍රම ක්‍රමයෙන් හොඳ තැනට එනවා කියලා පේනවා. දවසින් දවස මේ ආණ්ඩුවේ විනාශකාරී වැඩපිළිවෙළ එතුමාට තේරෙනවා. මම හිතනවා එතුමා අවස්ථාව එනකල් ඉන්නේ කියලා. මොකද කොයිම මොහොතකවත් එතුමා කියලා නෑ ආණ්ඩුවට එරෙහිව කතා කරන්න එපා කියලා.

ඔබ කිව්වා ආණ්ඩුවෙන් අයින් වෙලා ආණ්ඩු විරෝධි සටනකට යනවා කියලා. ඒත් ඊට පස්ස් පසුවත් ඔබ ආණ්ඩුවේ පිරිසක් එක්ක ගොඩනැගිල්ල විවෘත කරන උත්සවයකට සහභාගි වෙලා හිටියා. මිනිස්සුන්ට සැකයක් එනවා නේද මේක ඩබල් ගේමක් කියලා?

ඇමැතිකමෙන් අයින් කළාට පස්සේ මොනවද තියෙන ගේම්. අනික මම ජනාධිපතිතුමාගෙන් දැනගත්තා කවුද මාව අයින් කරන්න කටයුතු කළේ කියලා. එතනින් පස්සේ මොන ගේම්ද? දැන් ගේම් එක තියෙන්නේ ආණ්ඩුව එළවන ගේම් එක. එතනදි වුණේ මම ජනාධිපතිතුමා හම්බවෙන්න ගිය වෙලාවේ ජනාධිපතිතුමන් තිලංග සුමතිපාල මහත්තයත් කතා කළා වෘත්තිය පුහුණු පාසලක් විවෘත කරන වැඩේට සහභාගි වෙන්න. ඒ නිසයි ගියේ. ඒවගේම එදා හවස මහින්ද රාජපක්ෂ මහත්තයත් හම්බවුණා.

එහෙනම් ඇයි කට්ටිය ඔය නායකයෝ දෙන්නව හොරෙන් හම්බවෙන්නේ?

ඔතනයි වැරැද්ද. අපි නිතරම බලන්න ඕන ඔය දෙන්නා එකතුකරන පාලමක් වෙන්න. ඔය ගොඩක් අය හොරෙන් හම්බවෙන්නේ කැපෙයි කියලා බයට. අපිට කැපෙන්න දෙයක් නෑ. අපි බය නෑ. කමක් නෑ ඒ අයත් කොහොම හරි හම්බවෙලා එකතු කරනවා නම්. මොකද මේ අන්තිම අවස්ථාව. අපි දෙගොල්ලො වෙනම ඡන්දයට ගියොත් අන්ත පරාජයක් වෙන්නේ.

අපි නම් දන්නේ ඔබව ඉවත් කළේ ජනාධිපතිවරයා කියලා. ඒත් ඔබ මුලදි කියනවා ඔබව ඉවත් කළේ කවුද කියලා ජනාධිපතිගෙන් දැනගත්තා කියලා කවුද ඒ?

කෙළින්ම කියන්නම් මේ පක්ෂය දෙකඩ කරන්න ඕන නායක නායිකාවෝ එක්ක මම පසුගිය කාලේ පැටලුණා. සමහරක් අයට උවමනාවක් තියෙනවා මොන ක්‍රමයෙන් හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න. ඒ අයට අපි බාධාවක්නේ. සමගි කළොත් රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපති වෙන්න බෑනේ. එතුමා ජනාධිපති කරන්නනේ මේ දඟලන්නේ. ඒ අය තමයි මේ බලපෑම කරන්නේ. ජනාධිපතිතුමාට කවදා හරි ඒ අය අත්ඇරලා මේ ගමන යන්න පුළුවන් වෙයි.

ඔය ගැටුම් ඇති කරගත්තේ පසුගිය දවසක චන්ද්‍රිකා මැතිනිය සමගින්. ඒකද ඇමැතිකම නැති වෙන්න ආසන්නම හේතුව?

අපි තමයි චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කරන්න එජාප රජයත් එක්ක හැප්පුණේ. එතුමියත් වැඩක් කළා. ඒ නිසා අපිට ගෞරවයක් තියෙනවා එතුමිය ගැන. ඒත් දැන් ඉන්න තැන ගැන අපිට කනගාටුවක් තියෙනවා. ප්‍රශ්නය තමයි එතුමිය කියනවා පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි. ඒත් එතුමිය දන්නේ නෑ ඒ ආණ්ඩුවේම අය තමයි මේ ඉන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි යූ.ඇන්.පී. එකේ හොරකම් කරන අයව පේන්නෙත් නෑ. ඒකයි කනගාටුව.

ඔබ කිව්වා ඊළඟ ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කරන්න මෙහෙයුමක් යනවා කියලා. මේ ශ්‍රී ලංකා එකේ අයද ඒක කරන්නේ?

අනිවාර්යෙන්ම ඉන්නවා. හංඟන්න දෙයක් නෑ. කොටසක් ඉන්නවා නැවත එකතුවෙලා ඡන්දය ඉල්ලන්න. ඒ අයට වුවමනා නෑ මෛත්‍රිපාල මහත්තයා නැවත ජනාධිපති කරන්න.

කවුද ඒ අය?

ඉදිරි කාලයේදී හෙළි වේවී.

කතාවෙන් තේරෙන්නේ ඔබට යූ.ඇන්.පී. එකත් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා කියලා?

ඇරියස් එකක් නෑ. මේ ආණ්ඩුව හරියට හොඳට කළා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා මෙහෙම ජනප්‍රිය වෙන්නෙ නෑ. ඒ වගේම අපිටත් පුළුවන් මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ හැටියට ගිහිල්ලා ඡන්දදායකයන්ට කතා කරන්න. එහෙම බැරිවුණා මේ ආණ්ඩුවේ නරක ගමන නිසා.

ආණ්ඩුව නරක ගමනක් යනවා නම් හරි පාරට ගන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමාට. ඇයි එතුමා පියවරක් නොගන්නේ?

ජනාධිපතිතුමා සාධනීය පියවරවල් කීපයක් අරගෙන තියෙන්නෙ. මහ බැංකු සිද්ධිය බලන්න ඒකට ජනාධිපති කොමිසමකුත් දැම්මනේ.

ඉවත් වූ ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයා හමුවෙලා කිව්වේ මොනවද?

එතුමා කිව්වා එතුමා එක්ක එකතුවෙලා ආණ්ඩුව පෙරළන්න එන්න කියලා. එතනදි අපි කිව්වේ පෙරළපු පක්ෂය සමගි කරමු කියලා.

දැන් ඔබ පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ කොයි පැත්තෙද?

ඉස්සෙල්ලම ගිහින් බලනවා දැන් වාඩිවෙන්න තියෙන තැන මොකක්ද කියලා. තැන ප්‍රශ්නයක් නෑ කොතන හිටියත් ආණ්ඩුව පෙරළන්න කටයුතු කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ අය මේ වෙනකොට නගින්නේ පොදුජන පක්ෂයේ වේදිකාවට. ඔබත් නගින්නේ ඒ වේදිකාවටද?

එතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. දැන් බලන්න පාර්ලිමේන්තු මැතිවරණයේදි ජාතික ලැයිස්තුව ගැන ප්‍රශ්නයක් ආවනේ. ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා හැමෝටම ඡන්දය ඉල්ලන්න අවස්ථාවක් ලබාදීම ගැන. ඒත් ජාතික ලැයිස්තුවෙදි ආවේ අපේ පක්ෂයට සම්බන්ධ අය විතරයි. අනෙක් පක්ෂවලට අවස්ථාවක් දුන්නේ නෑ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයට අගමැතිකම් දෙනවා කියලා ඒක දුන්නෙත් නෑ. එතනත් ප්‍රශ්නයක් ආවා. ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂයක් පිහිටුවාගෙන තියෙනවා.

මම අහන්නේ ඔබ සහයෝගය දක්වන්නේ ඒ වේදිකාවටද?

මෙහෙමයි ආණ්ඩු විරෝධී තැනකදි මම ඕනෑම රුස්වීමකට යනවා. ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට වුණත්. හෙට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වුණොත් අපි ඒකටත් යනවා. අපිට ඕන ආණ්ඩු පෙරළන ව්‍යාපාරයක්.

එජාපයෙන් ගේන චෝදනාවක් තමයි ආණ්ඩුවට එක්වුණු අය වගේම යන්න දෙන අයත් දූෂණ චෝදනා තියෙන අය කියලා. ඔබටත් චෝදනා තියෙනවා නේද?

මට නම් පොලිසියක සුළු පැමිණිල්ලක්වත් නෑ දූෂණ වංචා සම්බන්ධයෙන්. මට ඔය චෝදනාක් කියලා ආවේ. ජනාධිපතිතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුවේ සංගමයක් එක්ක වැඩ කරද්දී. ඒ කළෙත් රේගුවට හොඳක්. අදටත් මම හම්බකරගත්ත සත පහක් නෑ. මම ආණ්ඩුවෙන් අයථා ලෙස හම්බකරලා නෑ. මට කියලා වාහනයක් හරි ගන්න දැන් තමයි හිතන්නේ. අපිට කාටවත් චෝදනා කරන්න බෑ. අනික එහෙම චෝදනා තියෙනවා නම් අපි ඇමතිකමෙන් අයින් වෙනවද? ආණ්ඩුවේ හිටියොත් ප්‍රශ්නයක් නෑනේ. ඔය ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයට කොච්චර ප්‍රශ්න තියෙනවද?

ඒ කියන්නේ එනවා කියන කට්ටිය නෑවිත් ඉන්නේ ඔය චෝදනා නිසා නේද?

සමහරක් අයට එහෙම හිතෙනවද දන්නෙත් නෑ. මම නම් කියන්නේ මේක තමයි අවස්ථාව කොන්ද කෙළින් තියාගෙන එළියට බහින්න. මේ අවස්ථාව ගන්න ඕන රට වෙනුවෙන්. පක්ෂයටත් වඩා ඒ ගැනයි හිතන්න ඕන. හෙට අනිද්දා ගේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න ඕන රට දුප්පත් කමින් මුදවා ගන්න. එහෙම නැතුව බලය අල්ලන්න නෙවෙයි.

ඔබ 20 වැනි සං‍ශෝධනයට ඡන්දය ප්‍රකාශ කරනවද?

ප්‍රකාශ කරනවා. ඒ විරුද්ධව. අපි මුල ඉඳලම කිව්වා. මධ්‍යම කාරක සභාවෙනුත් තීරණයක් ගත්තනේ. ජනාධිපතිතුමත් නිදහස දුන්නනේ.

මේ මෑතක ඉඳලා ආණ්ඩුවේ ඇමැතිවරු අධිකරණයට නීතියට අපහාස කරනවා, බැණ වදිනවා. ඇයි මේ?

මෙහෙමනේ පොදු මහජනතාව කැමතිනේ පොලිසියට නීතියට බණිනවට. ඒ නිසා ඒ ජනප්‍රියකම ලබාගන්න ඔය බණින්න ඇත්තේ. කොහොම වුණත් මේ රටේ අධිකරණ පද්ධතිය මීට වඩා ක්‍රමවත් වෙන්න ඕන. හැබැයි අපිට නීතියට බලපෑම් කරන්න අයිතියක් නෑ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති ලේකම් කෙනෙක් ඇතුළට ගියා. ඒත් ආණ්ඩුවේ හිටිය කිසිම කෙනෙක් අවසානයේ ඔවුන් සමඟ හිටියේ නෑ. මේකද දේශපාලනය?

ඇත්තටම මම ලලිත් වීරතුංග මහත්තයා ගැන කනගාටුවෙනවා. එතුමා හොඳ රාජ්‍ය සේවකයෙක්. හැබැයි මේ ප්‍රශ්නයේදි කොතන හරි යම් දෙයක් සිදුවෙලා ඇති. අපි ඒ ගැන හරියට දන්නේ නෑ. කොහොම වුණත් හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා එතුමා තමයි නියෝග දුන්නේ කියලා. එතුමා නෑ කියන්නේ නෑනේ. ඒ වගේම ඕනෑම රජයක් වුණාම ජනතාව සතුටු කරන දේවල් කරනවා. හැබැයි ජනාධිපතිවරණයට කලිනුත් මම දැක්කා ඔය සිල් රෙදි බෙදන එක බදුල්ලෙදි.

හැබැයි ඔබට හිතෙන්නෙ නැද්ද ඉස්සෙල්ලා ආණ්ඩු එක්ක බලද්දි මේ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වීම හොඳයි කියලා?

එහෙම හිතෙන්නෙ නෑ. දැන් බලන්න එෆ්.සී.අයි.ඩී එක දාලා නීතිය නවලා තියෙනවා. මේ ආණ්ඩුවේ කියලා ලොකු වෙනසක් නෑ.

හිතෙන්නේ නැද්ද අද හෙටම නීතිය ඔබටත් ක්‍රියාත්මක වෙයි කියලා?

සමහර විට නීතිය නවයි මටත්

අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ඔබතුමාව කණ්ඩායමක් එකතු වෙලා ෆෝම් කරලා ඔවුන් ඔබව මඟ හැරියා නේද? දැන් තනිවුණා නේද?

එහෙම හිතෙන්නෙ නෑ. ඒ අය තවමත් සාකච්ඡා කරනවා. සුදුසු අවස්ථාව එනකල් බලාගෙන ඉන්නෙ.

මොකද්ද ඒ අවස්ථාව?

ඉදිරි කාලයේදි එන මැතිවරණවලදි ඒ අවස්ථාව උදාවෙයි.

ගයාන් ගාල්ලගේ