අරවින්දත් බැහැ කියයි

ක‍්‍රිකට් තේරීම් කමිටුවට ආරාධනා කරන බොහෝ දෙනා එය ප‍්‍රතික්ෂේප කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පසුගිය සතිය වනවිටත් වල් වැදුණු තත්ත්වයකට වැටිණි. අරවින්ද ද සිල්වා මහතා ඇතුළු හිටපු ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසක් තේරීම් කමිටු සභාපති ධූරය බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. කමිටු සාමාජිකත්වය හෝ බාරදීම අභියෝගයක් බවට පත්ව ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.


අරවින්ද ද සිල්වා මීට පෙර වර්තමාන පරිපාලනය යටතේ ක‍්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පුහුණුකරුවකු බඳවා ගැනීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඔහු ඉල්ලා අස්විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල වැටී ඇති තත්ත්වය සහ ක‍්‍රිකට් පරිපාලනයට එල්ල වන චෝදනා මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කකු දැඩි පසුබෑමකට ලක්ව සිටින බව ද දැනගන්නට තිබේ. විවිධ කාරණා සම්බන්ධයෙන් ලොක්කාව මුණගැසීමට එය අයට ඔහු මේ ආකාරයට පවසන බව ද වාර්තාවේ.

‘‘ඔයා දන්නවානේ දැන් අපේ තත්ත්වේ. කොයි වෙලාවේ මොනව වෙයිද දන්නේ නෑ. ඒ නිසා අපි ටිකක් බලමුකෝ’’

ඔහු අද හෝ හෙට ඉල්ලා අස්වනු ඇතැයි ද ක‍්‍රිකට් ආයතනයේ ඇතැම්හු පවසති. එසේ වුවහොත් ලොක්කා ‘රූකඩ’ නැටවීමට සූදානමින් සිටියි. ඉල්ලා අස්වුවහොත් එස්.එස්.සී. පැත්තේ හිටපු ලොක්කෙකු යොදවා කටයුතු කරගෙන යෑමට සැළසුම් දියත්කර ඇති බව ද ක‍්‍රිකට් ආයතනය පැත්තෙන් දැනගන්නට තිබේ.

ආණ්ඩුවේ ප‍්‍රධානියකු ද අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කරමින් සිටිය ද එය බාර ගැනීම ද නමගිය පරිපාලකයන් කීපදෙනකු ප‍්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට තිබේ.

හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන ඇතුළු ක‍්‍රීඩකයන් පිරිසක් කොළඹදී පැවැත්වූ විශේෂ සමුළුවකින් ක‍්‍රිකට් පාලකයෝ තැති ගැනීමට ලක්ව සිටිති. මහේල ජයවර්ධන පාසල් ක‍්‍රිකට්වලට සහයෝගය දැක්වීමට ද ඉදිරිපත්ව සිටියි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එයට සක‍්‍රියව සම්බන්ධ වී තිබේ.

ක‍්‍රිකට් ආයතනය තේරීම් කමිටුව සඳහා නම් තුනක් පසුගිය සතියේ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කළ බව ද දැනගන්නට තිබූ අතර කෙසේ වෙතත් මෙම සටහන තබන මොහොත දක්වා එවැනි පත්කිරීමක් ගැන දැනගන්නට නොතිබුණි. එම නම් තුන ඇතුළට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තරග තීරක තනතුරක් දරණ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම මෑතකදී ක‍්‍රිකට් පිලෙන් විසිවූ රූපවාහිනී සාකච්ඡාවලට සහභාගි වන හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයකු ද සිටින බව වාර්තා විය.

තේරීම් කමිටුවක් නොමැතිව පාකිස්තානු සංචාරය සඳහා ක‍්‍රීඩකයන් 25 දෙනකු නම් කර පුහුණුවීම්වල නිරතව සිටී. ටෙස්ට් තරගාවලියට සහභාගි වන 15 දෙනාගෙන් යුත් සංචිතය ලබන 24 වැනිදා අබුඩාබි බලා පිටත්ව යෑමට නියමිතය. මෙම සංචිතය ද ක‍්‍රිකට් බලධාරීන්ටම තෝරා ගැනීමට සිදුවේ දැයි සැකයක් මේ වනවිට මතුවී තිබේ.

මෙම තරගාවලියේ අවසන් විස්සයි20 තරගය ඔක්තෝබර් මස 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට සූදානම් වන අතර එයද නව අර්බුදයක් නිර්මාණය කරන්නක් විය හැකි බව බොහෝ දෙනා පවසති. දෙරටේ ක‍්‍රිකට් බලධාරීන් එකඟ වුවද පාකිස්තානයේ සංචාරය කිරීම ක‍්‍රීඩකයන් ප‍්‍රතික්ෂේප කළහොත් නව ගැටලුවක් නිර්මාණය වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන කාන්තා ක‍්‍රිකට් තරගාවලිය තුනක් මේ වනවිට අවලංගු කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඉදිරි තරගාවලි සඳහා සංචිත තෝරා ගැනීමට ද අර්බුදයක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

I යොහාන් භාසුර