ශ්‍රීලනිප සමුළුවෙන් පසු ප්‍රබල 5ක්‌ එළියට...!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැට හය වැනි (66) සමුළුව අතිශය තීරණාත්මක එකක්‌ වනු ඇති බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසකවරයෙක්‌ ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. සියලු මන්ත්‍රීවරුන්ට හැට හයවැනි සංවත්සරයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබෙන බවත් ඒ අනුව ඔවුන් සංවත්සරයට නොපැමිණියොත් මින් ඉදිරියට පක්‍ෂයේ කිසිදු නිල කටයුත්තකට ආරාධනා නොකර ඔවුන් නොසලකා හරිමින් කටයුතු කරන බවත් හෙතෙම කීය.

සංවත්සරය අවසන් වූ වහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, රංජිත් සොයිසා, මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‍ෂයේ විනය කමිටුව හමුවට කැඳවන බවත් ඒ සඳහා වන තීන්දුව මේ වනවිටත් ගෙන තිබෙන බවත් එම ප්‍රකාශකයා අනාවරණය කළේය.

මේ වනවිට විනය පරීක්‍ෂණ පවත්වා වැරදිකරු බවට පත්ව සිටින පුත්තලම දිස්‌ත්‍රික්‌ (ශ්‍රීලනිප) පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පක්‍ෂයෙන් ඉවත් කිරීම සංවත්සරයෙන් පසුව සිදු කරන ලද බව ද එම ප්‍රකාශකයා කීවේය.