රවී රකින්න නායක හිමිවරු පෙරට එති


බැඳුම්කර සිද්ධිය ඇතුළු බරපතළ චෝදනා එල්ල වී ඇති ඇමැති රවී කරුණානායක වෙනුවෙන් අදහස් පළ කිරීමට නායක හිමිවරුන් පිරිසක් සූදානම් වන බව හෙළි වේ.

ආණ්ඩුවේ ඇති අනෙකුත් දූෂණ-වංචා, මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම ඇතුළු බරපතළ කරුණු නොසලකා හැර රවී කරුණානායක ඇමැතිවරයා පමණක් ඉලක්ක කොට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උන්වහන්සේලාගේ අදහසයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නායක හිමිවරුන් කිහිප දෙනකුම පැවසුවේ ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමය විවේචනය කිරීම මෙමඟින් නතර වන බවයි.

එය ආණ්ඩුවට වාසිදායක ක්‍රියාවලියක් වන අතර, රවී කරුණානායක ඇමැතිවරයා ටික කලකට ඇමැති ධුරයෙන් ඉවත් කොට නැවත ඇමැති ධුරයට පත් කරනු ඇතැයි යන්න උන්වහන්සේලාගේ අදහසයි. මෙවැනි අදහසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ද පවසා තිබූ අතර, රවී කරුණානායකට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී ඔහු පවසා තිබුණේ සමස්ත ආණ්ඩුවටම එරෙහිව කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ බලකිරීම මත අදාළ විශ්වාසභංගය පසුගිය 03 දා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට භාර දෙන ලදි.

රවී කරුණානායක මුදල් ඇමැති ධුරය දරන කාලයේ දී නායක හිමිවරුන්ට විවිධ වරදාන-වරප්‍රසාද ලබා දුන් බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනිත ප්‍රසාද් සේනානායක