මාලිංග සිටියදී මැතිව්ස් හා අසේල ලංකාවට ගෙන්වයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් (දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්) හා අසේල ගුණරත්න (මුම්බායි ඉන්දියන්ස්) යළිත් දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එහෙත් ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගට (මුම්බායි ඉන්දියන්ස්) දිගටම අයි.පී.එල්. ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ලෙස දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් නිල වශයෙන් පත් කිරීම දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අනාවරණය කළේය.ඒ අනුව අසේල ගුණරත්න ඊයේ (01දා) දිවයිනට පැමිණි අතර, නායක ඇන්ජලෝ මැතිව්ස්ට 09 වැනිදා උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්විය යුතු බවද දන්වා තිබේ.

මේ සම්බන්ධනේ වැඩිදුර අදහස් පළ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා,

“අපි දැනුම්දුන්නා 09 වැනිදා උදේ මහනුවර සියලුම ක්‍රීඩකයන් සිටිය යුතුයි කියලා. අසේල ඊයේ පැමිණියා. ඇන්ජලෝට අපි දන්වලා තිබෙනවා 09 වැනිදා උදෑසන ලංකාවේ සිටිය යුතුයි කියලා.

නමුත් මාලිංගට තරග සඳහා ශාරීරික යෝග්‍යතාව (Match Fitness) නැහැ. පන්දුවාර 10 ක් යැවීමේ යෝග්‍යතාව තවම මාලිංගට නැහැ. මාලිංගව අපි ක්‍රමයෙන් පන්දුවාර 06, 08, 10 දාන්න වැඩසටහනක් සූදානම් කරලා තිබෙනවා. ඔහු අයි.පී.එල්. තරගාවලියේ ඔහුගේ කණ්ඩායම නියෝජනය කිරීම අපට වාසියක් කියලයි අපි හිතන්නේ.

ඒ මොකද ඔහු උණුසුම් තරගවල ඉන්නේ. ඔහුව අපි සැලැස්මක් තුළ පුහුණු කරවනවා. 09 වැනිදා වෙද්දි ඔහුට පන්දුවාර 10 ක් දාන්න බැහැ. ඒ නිසා අපි ඔහුට වෙනමම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මාලිංගට ලොකු වුවමනාවක් තිබෙනවා ඔහුට ක්‍රීඩා කරන්න පුළුවන් එක් තරගයද, එය දිනවලා දෙන්න. ඒ නිසා ඔහුට අපි අයි.පී.එල්. තරගාවලියේ ඔහුගේ කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලබාදීලා තියෙනවා" යැයි පවසා සිටියේය.