සයිටම් විරෝධී වෙද-ගුරු-සිසු වර්ජනය අනිද්දා

සයිටම් ගැටලුවට ආණ්‌ඩුව මෙතෙක්‌ විසඳුම් ලබා නොදීමට විරෝධය දක්‌වමින් සිකුරාදා (05) රට පුරා වෛද්‍යවරු, ගුරුවරු සහ විශ්වවිද්‍යාල සිසුහු එක්‌දින වැඩවර්ජනයක නිරත වෙති.

වෙද ගුරු සිසු ත්‍රිත්ව බලවේගය මෙදින වැඩවර්ජනයට එක්‌වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය. සමස්‌ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ගුරු සංගම් අටක්‌ද මෙම වැඩවර්ජනයට එක්‌වන බව වෛද්‍ය හේරත් මහතා ප්‍රකාශ කළේය.

සියලු විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ශිෂ්‍ය සංගම් පහක්‌ද එදින පන්ති වර්ජනය කරමින් වැඩවර්ජනයට සහාය දෙන බවද කී වෛද්‍ය නලින්ද හේරත් මහතා ඊට අමතරව අන්තර් සමාගම් සේවක සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානය, හෙද නිලධාරීන්ගේ සංගම් ඇතුළු වෘත්තීය සමිති එකසිය පනහක්‌ පමණ සංඛ්‍යාවක්‌ද විවිධ ක්‍රියා මාර්ග ඔස්‌සේ වැඩවර්ජනයට සහාය දක්‌වන බව ප්‍රකාශ කළේය.

මෙම වැඩවර්ජනය සම්බන්ධව ආණ්‌ඩුවේ ප්‍රතිචාර සමාලෝචනය කර අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ සඳහා දින නියම කිරීම 9 වැනිදා සිදුවනු ඇතැයිද වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවැසුවේය.