රටපුරා ඩෙංගු අධි වසංගතයක්

රට පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම අධි වසංගත තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, යාපනය, පුත්තලම, මහනුවර, ත්‍රිකුණාමලය, මඩකළපුව, රත්නපුරය, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, ඩෙංගු රෝගය මර්දනය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය ද ඊයේ (16) රැස්විය.

මේ වසරේ ගත වූ කාලය තුළ දී ඩෙංගු රෝගීන් 44,500 කට වැඩි පිරිසක් රට පුරා ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් මරණ 90 කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඩෙංගු උණ රෝගය වැළඳුණු පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් දිනක දී අයි. ඩී. එච්. රෝහලට පැමිණෙන බව මුල්ලේරියාව උණ රෝහලේ (අයි.ඩී.එච්.) විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසුවේය.

අයි. ඩී. එච්. රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීම නිසා වෙනත් රෝහල් වෙත රෝගීන් යොමු කරන බවත් රෝහලේ ඇඳන්වල රෝගීන් දෙතුන් දෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් රෝගීහු පවසති.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය විජේවික්‍රම මහතාගෙන් විමසූ විට කියා සිටියේ රෝහලට පැමිණෙන රෝගීන් පරීක්ෂා කර බලා නේවාසිකව ප්‍රතිකාර කළ යුතු රෝගීන් රෝහලේ නතර කරගෙන ප්‍රතිකාර ලබාදෙන බවත් එසේ අවශ්‍ය නොවන රෝගීන් පිටත් කර හරින බවත්ය.

ඇතැම් පුද්ගලයන්ට දින දෙකකින් පසුව උණ බැස යා හැකි බවත් එසේ වුවත් උණ වැළඳුණු පුද්ගලයකු දින දෙකකින් පසුව රුධිර පරීක්ෂාවක් සිදු කර එය සාමාන්‍ය තත්ත්වයෙන් පසු වුවද තෙවැනි දිනයේදීත් රුධිර පරීක්ෂාවක් සිදු කළ ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

ඩෙංගු උණ රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් ප්‍රධාන හේතුව වනුයේ වෛරස් රෝගයේ වෙනස් වීම බවත් පසුගිය කාලයේ පුද්ගලයන්ට වැළඳුණේ ඩෙංගු උණ රෝගයේ ටයිප් 1 සහ 4 කාණ්ඩ වන අතර, වර්තමානයේ දී එය ටයිප් 2 දක්වා වෙනස් වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවැසුවාය.

ඩෙංගු උණ රෝගයේ ටයිප් 2 වෛරස් කාණ්ඩය වැළඳුණු රෝගීන් බහුතරයක් වාර්තා වන බවත් එක් පුද්ගලයකුට හතර වතාවක් ඩෙංගු රෝගය වැළඳිය හැකි බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෙසු රෝහල්වල කාර්ය මණ්ඩල කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කිරීමට තීරණය කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය පවසයි.

රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් මේ තීරණය ගත් බවත් ඒ අනුව ඊයේ (16) සිට හෙද හෙදියන් 10 ක් සහ කනිෂ්ට කාර්ය මණ්ඩලයේ 10 ක් වෙනත් රෝහල්වලින් කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරන බවත් ඒ මහත්මිය පැවැසුවාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය, කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය, මල්ලවපිටිය බල ප්‍රදේශය යන ප්‍රදේශවලින් සියයට 70 ක් රෝගීන් වාර්තා වන බවත් දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපවල ඩෙංගු මර්දන කටයුතු සඳහා දැඩි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් ඇය පැවැසුවාය. රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් නොව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානීන්ගේ පවුලේ උදවියට පවා ඩෙංගු උණ රෝගය වැළඳී ඇති බවට වාර්තා වන බවත් ඩෙංගු උණ රෝගය මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව හමාර බවත් එම ආරංචි මාර්ග පවසයි.

තමා ජීවත්වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව තබා ගැනීමෙන් මේ උවදුරෙන් මිදී සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

සන්ධ්‍යා කරුණාරත්න, කුරුණෑගල මධ්‍යම විශේෂ, කුරුණෑගල දකුණ සමූහ