මාලකගේ පහරදීම ගැන නීතිපති තවම නෑ

බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලූ රාත්‍රි සමාජ ශාලාව තුළ දී මාලක සිල්වා ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු විසින් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාළ ව මෙතෙක් නීතිපති උපදෙස් නොලැබුණු බවට කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දුන්නේය. වර්ෂ 2014 /11/1 මෙම පහරදීමේ සිද්ධිය වු අතර අදාළ විමර්ශන අවසන් කොට උද්ඨෘත 2015/2/10 වන දින ඩබ්ලිව්.පී.1/13/2015 යටතේ නීතිපතිවරයා වෙත යොමු කර අැතත් මේ දක්වා නීතිපති උපදෙස් නොලැබුණු බවට පොලිසිය අධිකරණයට දැන්විය.

සිද්ධියේ සැකකරුවන් වන දැනට ඇප මත සිටින මාලක සිල්වා, රමේෂ් ටිරාන්, ඔ.වී.විමලරත්න, ප්‍රියන්ත උපසේන, කේ.එස්.රුක්ෂාන්, සනත් චන්ද්‍රසිරි හා ඉන්දික කුමාරසිරි යන අය ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

වර්ෂ 2014/11/1 දින බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලු රාත්‍රි සමාජ ශාලාව තුළ දි බ්‍රිතාන්‍ය ජාතික ජෙම්ස් ෆැන්සිස් නැමැත්තාට පහර දිම හා ඇයගේ පෙම්වතියට අතවර කිරිම සම්බන්ධයෙන් මාලක සිල්වා ඇතුළු සැකකරුවන් හත්දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

මෙම සැකකරුවන්ට පහර දිම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයාට එරෙහිව ද නඩුවක් පවරා ඇත. නඩු දෙකම සළකා බැලු මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා නඩු යළි කැඳවිම ඔක්තෝබර් 23 වන දිනට කල් තැබිණ.