කොළඹ කුණු කසළ ඉවත් කිරීමේ ගැටලු රැසක්‌

මුළු කොළඹම දැන් ගඳගහනවා
වෙළෙඳ ව්‍යාපාරික ජගත් කුමාර

පිට පළාත්වලින් එන ජනතාව
කොළඹට කුණු කන්දක්‌ අරං එනවා
එම්. එච්. නූර් මොහොමඩ්

තැන තැන කුණු දමන අයට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි
නිරෝමි කොඩිතුවක්‌කු

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මීතොටමුල්ල කුණු කන්ද නායයැමේ සිද්ධියත් සමඟ කොළඹ කුණු කසළ ඉවත් කිරීමේ ගැටලු රැසක්‌ මතු වී තිබේ. මේ හේතුවෙන් ඊයේ (25 දා) දිනයේ ද කොළඹ නගරයේ තැන තැන කුණු ගොඩගැසී තිබෙන ආකාරය දැකගත හැකි විය. නගරයේ සමහර කුණු පෞද්ගලික ආයතනවලට අයත් ලොරි රථවලින් ඉවත් කරන ආකාරය ද දැකගත හැකි විය.

කොළඹ නගරයේ එක්‌රැස්‌ වී ඇති කුණු ගැන සොයා බලන්නට අප ඊයේ ගිය අවස්‌ථාවේ කීපදෙනකු මෙසේ අදහස්‌ දක්‌වන්නට වූහ.

වෙළෙඳ ව්‍යාපාරික ජගත් කුමාර මහතා,

"මුළු කොළඹම දැන් ගඳගහනවා. මීතොටමුල්ල කුණු කන්ද නායයැමත් සමඟම කොළඹ නගරයේ කුණු තැන තැන ගොඩගැහිලා. දැන් මේ කුණු පුද්ගලික සමාගම්වල ලොරි රථවලින් අදිනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. පිටකොටුව පළවැනි, දෙවැනි හරස්‌ වීදිවල කුණු කොඩගැහිලා. මේවා ගැන බලන්න නගරාධිපති කෙනෙක්‌ නැහැ. කුණු ප්‍රශ්නය නිසා කොළඹ නගරයේ ඉන්න අපේ ජීවිතත් අනතුරේ".

කොළඹ 10, එම්. එච්. නූර් මොහොමඩ් මහතා,

"කොළඹ නගරයට කුණු හුඟක්‌ම එන්නේ පිට ප්‍රදේශවල සිට මේ නගරයට එන ජනතාවගෙන්. මේ අය කුණු කන්දල් අරන් එනවා විතරක්‌ නොවෙයි, තව බීම බෝතල්, යෝගට්‌, කිරි පැකට්‌, අයිස්‌ ක්‍රීම් කප් ආදියත් අරන් ප්ලාස්‌ටික්‌ බෝතල් වැනි අපද්‍රව්‍යන් කොළඹට විසිකරලා යනවා. නගරයේ කාණුත් මේ අපද්‍රව්‍ය නිසා අවහිර වෙලයි තියෙන්නේ.

දැන් මේ කොළඹ නගරයේ හුඟක්‌ පොඩි දරුවන්ට ඩෙංගු උණ හැදිලා. ඩෙංගුවලින් හුඟක්‌ අය මියගියා. මේ කුණු කසළ ප්‍රශ්නය කඩිනමින් විසඳන්න රජය මැදිහත් විය යුතුයි. නැත්නම් කොළඹ නගරයත් කවදාහරි මීතොටමුල්ලක්‌ වේවි....."

ව්‍යාපාරික එම්. µdයිස්‌ මහතා,

"මම සව්කැඳ විකුණනවා. මම ඉන්නේ පිටකොටුව පස්‌වැනි හරස්‌ වීදියේ. කුණු ගොඩවල් වැඩිවෙලා. අනිත් එක සමහර අය මුත්‍රා කරලත් යනවා. නීතියක්‌ නැහැ. මේ නිසා පළාතම ගඳයි. අනිත් එක තමයි ඈත පළාත්වලින් එන එළවළු. ඒවායේ අපද්‍රව්‍යත් මේ කුණු ගොඩවල්වලට එකතු වුණාම කොහොමද ගඳ".

ගල්කිස්‌ස - නිරෝමි කොඩිතුවක්‌කු මහත්මිය,

"මම මේ මාර්කට්‌ එකෙන් එළවළු අරන් යන්න ආවා. මාර ගඳක්‌නේ කොළඹ තියෙන්නේ. අපි මේ ලේන්සුවලින් නහයවල් වහගෙනයි යන්නේ. කොළඹට එන අය මේ නගරයේ පිරිසිදුකම ගැන හිතනවා නම් මෙච්චර කුණු නගරයේ එක්‌රැස්‌ වෙන්නේ නැහැ. අනික කුණු තැන තැන දාන අයට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

නගර සභාව වුණත් කුණු තැන තැන බැහැර කරන කොට මිනිසුන්ගේ ජීවිත ගැනත් හිතන්න ඕන. ජන ශූන්‍ය ප්‍රදේශවලට කසළ බැහැර කරනවා නම් වඩාත් හොඳයි".

කොළඹ - ඉමාලි ජයසිංහ මහත්මිය,

"දැන් කොළඹ වැඩට එන අය උදේට, දවල්ට කෑම ලන්ච් ෂීට්‌වල ගෙනාවොත් ඒවා කොළඹ දාලා යනවනේ. එහෙම බැලුවොත් කොච්චර ලන්ච් ෂීට්‌ ප්‍රමාණයක්‌ කොළඹට එකතු වෙනවා ඇත්ද? අනික පිට පළාත්වල අය කෑගහනවා කොළඹ කුණු අපට එපා කියලා. නමුත් කොළඹට කුණු වැඩිපුරම ගේන්නේ පිට පළාත්වල අය. කොළඹ කුණු අපට එපා කියල කෑගහන අය එහෙනම් කොළඹ එන්නත් එපා".