පැණි බීම නිසා ආඝාතය හා ඩිමෙන්ෂියාව ඉහළට

කෘත්‍රීම රස ගැන්වූ පැණි බීම වර්ග දිනපතා පානය කරන අය කල්ගතවත්ම ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හා "ඩිමෙන්ෂියා" යන රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි බව ඇමරිකා එක්‌සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

බොස්‌ටන් විශ්වවිද්‍යාලය හා ජාතික හෘද, පෙණහළු හා රුධිර මධ්‍යස්‌ථානය ඒකාබද්ධව සිදු කර ඇති මෙම අධ්‍යයනයේදී වයස අවුරුදු 45 ට වැඩි 2888 දෙනකු ආඝාතය රෝගය සම්බන්ධවද වයස අවුරුදු 60 ට වැඩි 1484 දෙනෙකු ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධවද අධ්‍යයනයට ලක්‌ කර තිබේ.

මෙම කණ්‌ඩායම් දෙකට අයත් සාමාජිකයන් 1991 වසරේ සිට 2001 දක්‌වා කාලය තුළ කොපමණ කෘත්‍රීමව රස ගැන්වූ පැණි බීම වර්ග හා ස්‌වාභාවිකව සීනි රසැති යුෂ වර්ග පානය කළේදැයි මෙහිදී අධ්‍යයනය කර තිබේ.

මෙහිදී කෘත්‍රීමව රස ගැන්වූ පැණි බීම වර්ග කිසි දිනක පානය නොකළ අයට වඩා එම පැණි බීම වර්ගයක්‌ දිනපතා පානය කළ අය ආඝාතය (ස්‌ට්‍රොaක්‌) රෝගයට ගොදුරු වීමේ අවදානම තුන් ගුණයකින් වැඩි බවත් එසේ දිනපතා පැණි බීම පානය කළ අයගේ රුධිර නාළිකා අවහිරතාවයට පත්වීමෙන් ඔවුන් ආඝාතයට ගොදුරු වන බව පර්යේෂකයෝ ඇමරිකානු හෘද සංගමයේ "ආඝාතය" පිළිබඳ සඟරාවෙහි පළ කර ඇති අධ්‍යයනය පිළිබඳ වාර්තාවෙහි සඳහන් කර තිබේ.

එමෙන්ම දිනකට කෘත්‍රීමව රස ගැන්වූ පැණි බීම බෝතලයක්‌ බැගින් පානය කළ අය ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානමද තුන් ගුණයකින් වැඩි බව මෙහිදී අනාවරණය වී තිබේ.

සතියකට කෘත්‍රීමව රස ගැන්වූ පැණි බීම බෝතල් එකේ සිට හය දක්‌වා වූ ප්‍රමාණයක්‌ පානය කරන අය ආඝාතය රෝගයට ගොදුරු වීමේ අවදානම 2.6 ගුණයකින් වැඩි බවද මෙහිදී හෙළි වී තිබේ.

මෙයට පෙර කෘත්‍රීමව රස ගැන්වූ පැණි බීම වර්ග සම්බන්ධව කරන ලද අධ්‍යයනයන්හිදී එම බීම පානය දෙවැනි ඝනයේ දියවැඩියාව, ස්‌ථුලතාවය, හෘද රෝග, ආඝාතය හා හෘද අකර්මණ්‍යතාව යන රෝග තත්ත්වයන්ට මඟපාදන බව හෙළි වී තිබිණි.