ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්

කුසල් ජනිත්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (04 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු හයක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

තරගය අවසන් වීමට සුළු මොහොතක් තිබියදී ටස්කින් අහමඞ්ගේ පන්දුවක් හමුවේ කුසල් ජනිත් දැවීයන විටදී පන්දු 53 කට මුහුණදී හයේ පහරක් සහ හතරේ පහර නවයකින් ඉනිම අලංකාර කිරීමට ඔහු සමත්ව සිටියේය.

කුසල් ජනිත්ගේ හයවැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 31 කදී වාර්තාවූ අතර වසර තුනකට පසුව ලබාගත් පළමු අර්ධ ශතකය වන්නේය. කුසල් අවසන් වරට විස්සයි-20 තරගයකට සහභාගි වූයේ මාස හතකට පෙරදීය.

උපුල් තරංග සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 41 කදී ලකුණු 65 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කුසල් ජනිත් තෙවැනි කඩුල්ල සදහා අසේල ගුණරත්න සමගින්ද පන්දු 41 කදී ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූයේය.

අවසන් විස්සයි20 තරගාවලියට ක්‍රීඩාකරන නායක මෂ්රාෆී මෝර්ටසා හොදින් පන්දු යවමින් උපුල් තරංග (24) සහ ඩිල්ෂාන් මුණවීර (8) දවාගැනීමට සමත්වූ අතර දුවද්දී දැවීයාමකට හසුව අසේල ගුණරත්න ලකුණු 17 කට දැවී ගියේය.

බංග්ලාදේශය ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස්කිරීමට සමත්විය. සකිබ් අල් හසන්ට පිත්තෙන් වැඩි යමක් කිරීමට නොහැකිවූ අතර හිටපු නායක මුෂ්ෆිකුර් රහීම්ද ලකුණු 8 කට දවාගැනීමට අසේල ගුණරත්න සමත්විය.

පස්වැනි කඩුල්ල සදහා පන්දු 42 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මහමදුල්ලා සහ මොසද්දික් හුසේන් සමත්වූහ. ලසිත් මාලිංගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 31 ක් ලබාසිටි මහමදුල්ලා දැවී ගිය අතර ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි මොසද්දික් හුසේන් පන්දු 30 කට මුහුණදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය.

සෞම්‍යා සාර්කර් දැවී යාමෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩිපීඩනයක් එල්ල කළ දඟ පන්දු යවන්නෝ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කිරීමට සමත්වූහ. ඕවර 5 ක් අවසානයේදී 11.40 ක් ලෙස පැවැති ලකුණු ලබාගැනීමේ වේගය ඕවර 10 ක් අවසාන වන විටදී 7.60 ක් දක්වා පහත වැටුණි.

හයවැනි ඕවරයේ පළමු පන්දුවේදී සබීර් රහ්මන් දැවී යාමෙන් පසුව පන්දුවට පහරදීම සදහා පැමිණි සකීබ් අල් හසන් සමගින් එක්වූ සෞම්‍යා සාර්කර්ට වැඩිවේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් නොදුන් විකුම් සංජය එම ඕවරයේ පස්වැනි පන්දුවේදී ඔහු දවාගැනීමට සමත්විය. තිසර පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් සෞම්‍යා සාර්කර් දැවීයන විටදී පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 29 ක් රැස්කිරීමට සමත් ව සිටියේය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සෞම්‍යා සාර්කර් සහ සබීර් රහමන් දෙවැනි කඩුල්ල සදහා පන්දු 29 කදී ලකුණු 57 ක් සම්බන්ධතාවයක් ගොඩනැඟූ අතර සබීර් රහමන් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවී දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවය බිඳ වැටුණි.

පළමු ඕවරයේ දෙවැනි පන්දුවෙන්ම ලකුණු ලබාගැනීමට ප්‍රථම ටමීම් ඉක්බාල් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලසිත් මාලිංග සමත්වූවද එම ඕවරයේ අවසන් පන්දුවේදී සෞම්‍යා සාර්කර් ලබාදුන් උඩපන්දුව ඔහු අතින් ගිලිහි ගියේය.

බංග්ලාදේශ නායක මෂ්රෆී මෝර්ටසා ජාත්‍යන්තර විස්සයි20 තරග වලින් සමුගැනීමට තීරණය කළ බව අද ප්‍රකාශ කළ අතර මෙම තරගාවලිය ඔහුගේ අවසන් තරගාවලිය වන්නේය.

බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි20 වරම් හිමිකර ගැනීමට මොහොමඞ් සයිෆූඩීන් අද සමත්විය.

අවසන් වරට ඕස්ටේ්‍රලියාවත් සමග පැවැති විස්සයි20 තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක ඉවත් කර කුසල් ජනිත් සහ තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා ඇත.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මෂ්රාෆී මෝර්ටසා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ජාතික ගීය අවසන් වනවාත් සමගින් වර්ෂාව ඇඳ හැලුණු අතර තරගය මිනිත්තු 45 ක පමණ කාළයක් පමාවිය. වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වුවද ඕවර අඩුවීමක් සිදු නොවීය.