සිසුවියන් දෙදෙනා FB පෙම්වතුන් සමඟ පැනලා ගිහින්

පාසල් යාම නවතා සිය නිවෙස්වල තිබූ රන් ආභරණද සොරාගෙන මුහුණු පොතින් හමුවූ පෙම්වතුන් දෙදෙනා සමග පැනගිය උසස්පෙළ සිසුවියන් දෙදෙනෙක් පෑලියගොඩ ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගත්බව මහව පොලීසිය කීය.

මුහුණු පොතින් හදුනාගත් මෙම පෙම්වතුන් දෙදෙනා සමග පළමුව කෙටි පණිවුඩ හුවමාරු කරගනිම් තොරුතුරු දැනගැනීමෙන් පසුව පාසල් යාම නවතා රැකියාවක් කිරීමේ අරමුණින් පෑලියගොඩ ප්‍රදේශයේ කූලී නිවසක ජීවත්ව තිබේ. රැගෙන ආ රන් ආභරණ වේයන්ගොඩ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට අලෙවි කර ඇති අතර එම මුදලින් කුලී නිවසට අවශ්‍ය උපකරණ මිලදී ගෙන තිබේ.

පෙම්වතුන් දෙදෙනාගෙන් එක් අයෙක් නාවික හමුදාවේ සේවය කොට ඉන් ඉවත්වූ අයෙකු බවත්, අනෙක් පුද්ගලයා විවාහක එක් දරු පියෙකු බවත් පොලීසිය කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිස්ථානයට ලැබුණු පැමිණිලි දෙකක් මත පරීක්ෂණ කිරීමෙන් අනතුරුව මොවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, එක් සිසුවියකගේ කලින් පෙම්වතාගේ මාර්ගයෙන් උපාය දූතයෙකු යොදවා මෙහෙයුම සාර්තක කර ගැනීමට හැකි වූ බවත් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිසුවියන් දෙදෙනා මහව නාගොල්ලාගම හා මොරගොල්ලාගම ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවත්, සැකකරුවන් දෙදෙනා මහව බමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනාවරණය කරගෙන තිබේ. සැකකරුවන් ඉකුත් 26 දා මහව අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව, මහව සහකාර පොලිස් අධිකාරී අජිත් වංශනාථ මහතාගේ උපදෙස්මත, මහව මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො. රත්නායක, ජයතිලක, පො.සැ. තිලකරත්න(22575) හා පො.කො. පණ්ඩිතරත්න යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.