හේරත්ගේ සවියට තවත් වමත් දඟයෙක්‌

බංග්ලාදේශය සමග තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංයුතිය සඳහා වමත් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාරව පළමු වරට ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කිරීමට සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය 3-0 ක්‌ ලෙස පරාජය වීමෙන් පසු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ආබාධයක්‌ හේතුවෙන් ඉවත්වීම නිසා ස්‌ථානයක්‌ සොයමින් සිටි අසේල ගුණරත්නව එම ස්‌ථානයට ආදේශ කොට ඇත. මීට අමතරව ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාද කණ්‌ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට නිරෝෂන් දික්‌වැල්ලව කණ්‌ඩායමට එක්‌කර තිබේ.

අවසන් වූ පළමු පෙළ ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ මලින්ද පුෂ්පකුමාර එංගලන්ත "ඒ" කණ්‌ඩායම සමග පැවැති තරග තුනකදී කඩුලු 27 ක්‌ බිඳ දැමීම හේතුවෙන් ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කර තිබේ. අදාළ කඩුලු 27 න් 13 ක්‌ම මලින්ද විසින් පෙරේදා දඹුල්ලේදී අවසන් වූ සිව්දින තරගයේදී ලබා ගත්තේය.

29 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර කොළඹ ලුම්බිණි විදුහලේ ආදි සිසුවකු වන අතර ඔහු චිලව් මේරියන්ස්‌ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි. පළමු පෙළ තරග 99 කදී කඩුලු 558 ක්‌ දවාගෙන ඇති මලින්දගේ කඩුල්ලක්‌ ලබා ගැනීමේ සාමාන්‍ය 19.85 ක්‌ ලෙස සටහන් වේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මොහු පළමු පෙළ අර්ධ ශතක හතරක්‌ සමග මුලු ලකුණු 1542 ක්‌ ලබා ඇත.

ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාට ස්‌ථානය අහිමි වී ඇති අතර ඔහුට එංගලන්ත "ඒ" කණ්‌ඩායම සමග තරගාවලියේදීද අවස්‌ථාවක්‌ හිමි නොවුණි. කුසල් පෙරේරා දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් ඔහුටද ස්‌ථානය අහිමිව තිබේ.

මේ අතර අතිරේක ක්‍රීඩකයකු ලෙස කිත්රුවන් විතානගේ නම් කර තිබේ. එංගලන්ත "ඒ" කණ්‌ඩායම සමග පැවැති දෙවැනි සිව්දින තරගයේදී ලකුණු 185 ක්‌ ලැබූ සදීර සමරවික්‍රමව අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් නොකිරීම විශේෂත්වයකි.

බංග්ලාදේශ කණ්‌ඩායම සමග පළමු ටෙස්‌ට්‌ තරගය ලබන 7 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැන්න ලබන 15 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතය

රංගන හේරත් (නායක), නිරෝෂන් දික්‌වැල්ල, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, උපුල් තරංග, අසේල ගුණරත්න, මලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, සුරංග ලක්‌මාල්, විකුම් සංජය, ඩිල්රුවන් පෙරේරා සහ ලක්‍ෂාන් සඳකැන්