බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු

බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර, එහි දී එම නියෝගය ලබා දෙන ලදී.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවන දේශපාලනඥයන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරයකුගේ සහයෝගය ලැබෙන බවට නැ‍ඟෙන චෝදනා මත අදාළ වෛද්‍යවරයාට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස මීට පෙර නියෝග කරන ලදී. එම ස්ථාන මාරුවීම ලබා දී ඇතත්, අදාළ වෛද්‍යවරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවය කරන බව ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී කරුණු අනාවරණය විය. ඒ හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිවරයා අදාළ තීරණය ගෙන බන්ධනාගාර රෝහලට වෙනත් වෛද්‍යවරුන් යොමු කරන ලෙස ද නියෝග කෙළේය.

ස්ථාන මාරුවීම් ලබා දී එය සැලකිල්ලට නොගත් වෛද්‍යවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද සෞඛ්‍ය ඇමැතිවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දෙන ලදී.