පෞද්ගලික සරසවි එපා නම් චැනල් කඩත් එපා

වෛද්‍යවරුන් වීමට ඉගෙන ගන්නා සිසුන් නර්තන ශිල්පය හැදෑරීම ඉතා යහපත් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
එසේ නර්තන ශිල්පය ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් සෞන්දර්යයට ප්‍රිය කරන මිනිසුන්ට ආදරය කරන තමන් ගැන පමණක් නොසිතන වෛද්‍යවරුන් බවට පත්වේ යැයි අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍ය දිසානායක එසේ පැවැසුවේ පෙරේදා (27දා) මහනුවර පාතහේවාහැට අධ්‍යාපන කලාපයේ පාසල් 14ක සිසු සිසුවියන් 84 දෙනෙකු සඳහා රුපියල් 20 ලක්ෂයක වියදමින් වෙස් නැටුම් කට්ටල හා ශීර්ෂාභරණ බෙදා දීම වෙනුවෙන් තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.

උත්සවයේදී අමාත්‍යවරයා මෙසේද කීවේය.

මේ වෛද්‍යවරු සෞන්දර්යය ඉගෙන ගත්තා නම් කවදාවත් පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියන්නේ නැහැ. ඒ මොකද විශ්වවිද්‍යාලයට දශමෙන් දෙකෙන් යන්න බැරිවෙච්ච දරුවෝ ණයක් හරි වෙලා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන එකට ඉරිසියා කරන්නේ නැහැ.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න එපා කියනවා නම් ඒවා තහනම් කරන්න කියනවා නම් පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියනවා නම් චැනල් කඩත් එපා. ඇයි ඒක කියන්නෙ නැත්තේ. ඒ අය නොමිලේ ඉගෙන ගන්නේ. පාසල්වල, විශ්වවිද්‍යාලවල, නොමිලේ ඉගෙන ගත්තට හැබැයි චැනලිං නොමිලේ නැහැ. එහෙම කරන්න හොඳ නැහැ.

මේ රටේ දරුවෝ තාමත් තුන් ලක්ෂයක් වසරකට උසස් පෙළ ලියනවා. 1,40,000ක් පමණ උසස් පෙළ සමත් වෙනවා. 25,000යි විශ්වවිද්‍යාලවලට යන්නේ. තව 20,000ක් විතර උසස් අධ්‍යාපනයට පිටරට යනවා. ඉන්දියාවට, පාකිස්තානයට, බංගලිදේශයට, නේපාලයට යන දරුවෝ අවීචි මහා නරකාදිවල ඉගෙන ගන්නේ. මෙහේ පෞද්ගලික උපාධි කඩ එපා කියන අයගේ දරුවොත් ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි මම උසස් අධ්‍යාපන ඇමැති ලෙස ඉන්ජිනේරු උපාධි දෙන පෞද්ගලික විශ්වවිද්‍යාල 8කට අනුමැතිය දුන්නේ. වෛද්‍ය විද්‍යාල 5කට අනුමැතිය දෙන්නත් මට ඕන වුණා.

කටුබැද්දට යන දරුවන්ගෙන් 99%ක්ම ඒ - 3 ක් අරගෙන යන අය. හැබැයි එතැනට යන හැමෝටම ඒ - 3 ගත්ත කියලා තමන් කැමැති උපාධිය හදාරන්න බැහැ. එතැන ඉඩ මදි හැමෝටම කැමැති උපාධි හදාරන්න. මේ රටේ දරුවෝ ලක්ෂ 4 1/2ක් විතර ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නවා. ඒ හැමෝම සල්ලි තියෙන අයගේ දරුවෝද?