මිනී දෙක මාරු වී හරිම ජංජාලයක්

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් වෙනුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී රෝහල් සේවකයන්ගේ වැරදීමකින් වෙනත් කාන්තාවකගේ මළ සිරුරක් ඥාතීන්ට භාරදී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබූ මැදවච්චිය කිරිගල්ලැව මයිලගස්වැව ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ සහ අනුරාධපුර විජේපුර අනුලා දේවි මාවතේ පදිංචිව සිටි වකුගඩු රෝගයෙන් මියගිය කාන්තාවගේ මළ සිරුරු මියගිය කාන්තාවන් දෙදෙනාගේ ඥාතීන් පැමිණ භාර ගන්නාතෙක් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබී ඇත.
මේ අතර තම බිරිය මියගිය බව දැනගැනීමට ලැබීමෙන් පසු අනුරාධපුර විජේපුර අනුලාදේවි මාවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සැමියා ඇතුළු ඥාතීන් කීපදෙනකු රෝහලට පැමිණ කළ ඉල්ලීමකට අනුව ඇගේ සායනික වාර්තා සහ රෝහලේ ඇඳ ඉහපත් වාර්තා මත පදනම්ව ඇගේ මරණය සම්බන්ධයෙන් එම මරණය පිළිබඳව සැකයක් නොපවතින බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වාම රෝහලේ වාට්ටුව භාර කාර්ය වෛද්‍ය නිලධාරියකුගේ නිර්දේශය මත මළ සිරුර බාර දීමට රෝහලේ මෘත ශරීරාගාරයේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබිණි. එම අවස්ථාවේ මෘත ශරීරාගාරය තුළදී මළ සිරුර හඳුනාගෙන ඇති මිය ගිය කාන්තාවගේ සැමියා ඒ අනුව තම බිරියගේ සිරුර අනුරාධපුර නගරයේ මල් ශාලාවකට රැගෙන යෑමට කටයුතු කරන ලෙස මල් ශාලාවේ රියැදුරුට උපදෙස් දී ඔහු මල් ශාලාවට යෑමට පිටව ගොස් තිබේ.

ඉන් පැය දෙකකට පමණ පසු කාන්තාවගේ සිරුර එම්බාම් කොට ඇඳුම් අන්දවා මිනී පෙට්ටිය තුළ සිරුර තැන්පත් කිරීමෙන් පසු අඩුපාඩු ඇත්දැයි යන්න පරීක්ෂා කර බලා තමන්ට දැනුම්දෙන ලෙස මල් ශාලාවේ සේවකයකු මියගිය කාන්තාවගේ සැමියාට පවසා තිබේ. ඒ අනුව සිරුර අසලට ගොස් එය පරීක්ෂා කළ සැමියාට එලොව පොල් පෙනී ඇත.

ඒ සමඟම එම සිරුර තම බිරියගේ නොවන බව ඔහු ප්‍රකාශ කොට ඇත. එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ ඔහු මේ ගැන අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොලිසියේ නිලධාරීන් සහ මෘත ශරීරාගාරයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු නැවතත් එම මළ සිරුර රෝහල වෙත රැගෙන ගොස් හුවමාරු කර ගෙන තිබේ. මේ අතර එම කාන්තාවගේ මළ සිරුර එම්බාම් කිරීම සඳහා වැයවූ මුදල ඇගේ සැමියාගෙන් අය කර මිනි පෙට්ටිය සහ ඇඳුම මල් ශාලාවේ සේවකයන් විසින් ඉවත් කරගෙන සිරුර පමණක් රෝහල වෙත භාරදීමට රැගෙන ගොස් ඇත