බන්ධනාගාරයට වෙඩි නොවදින බස්‌ රථයක්‌

බන්ධනාගාරගතවන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයන් රැගෙන යැම සඳහා අවශ්‍ය කරනු ලබන ආරක්‍ෂිත වෙඩි නොවදින බස්‌ රථයක්‌ නිර්මාණය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතාගේ උපදෙස්‌ පරිදි බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල් නිශාන් ධනසිංහ මහතාගේ මඟපෙන්වීම මත කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරි ආර්. ඩබ්. ඩබ්. යූ. ඩී. ඒ. සම්ප්‍රයෝ මහතාගේ නිර්මාණ සංකල්aපයකට අනුව බන්ධනාගාර භාවිතයේ තිබූ බස්‌ රථයක්‌ නවීන තාක්‍ෂණය භාවිත කරමින් වෙඩි නොවදින ආරක්‍ෂිත බස්‌ රථයක්‌ බවට නිර්මාණය කර තිබේ.

මෙවැනි වෙඩි නොවදින බස්‌ රථයක්‌ පිට රටින් ගෙන්වීමට රුපියල් මිලියන 2 කට අධික මුදලක්‌ දැරීමට සිදුවන අතර එහෙත් මෙම බස්‌ රථයේ සියලු වැඩි දියුණු කටයුතු අවසන් කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යොදවා ඇත්තේ රුපියල් ලක්‍ෂ 7 ක මුදලක්‌ පමණි. ඉදිරි කාලය තුළදී ලංකාවේ සියලු බන්ධනාගාරවල සේවයේ යොදවා තිබෙන බස්‌ රථ මෙම ආකාරයට වැඩි දියුණු කිරීමට අපේක්‍ෂිතය.

මෙම නව වෙඩි නොවදින බස්‌ රථය බන්ධනාගාර ඉදිරි කටයුතු සඳහා ලබාදීම සහ එම බස්‌රථය නිරීක්‍ෂණය කිරීම අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සහ අමාත්‍ය ලේකම් ඩබ්. එම්. පී. ජී. වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් ඊයේ (24 වැනිදා) සිදුකරන ලදී.