විරැකියාව සියයට 4 දක්වා අඩුවෙයි

ශ්‍රී ලංකාවේ වර්තමාන විරැකියා ප්‍රතිශතය 4% දක්වා අඩු වී ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එක් දහස් නවසිය අසූ හත- අසූ නවය වසර වල ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය වූ 33% මේ වන විට 4% දක්වා පහළ ගොස් තිබීම සතුටට කරුණක් බවත් පවසන ඇමතිවරයා මෙම රැකියා විරහිත පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වී ජීවිතයට වටිනාකමක් මෙන්ම ආදායම් මාර්ගයක් විවර කර ගෙන අනාගතය සරු කර ගැනීමට එකතු වන ලෙසද ආරාධනා කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 'දෑ අභිමානී හරසර සම්මාන උළෙල' සහ පැල්පත් වාසීන් සඳහා මෙම වසරේ දී ලබා දීමට නියමිත නිවාස ව්‍යාපෘතීන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (24) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ පැවැති විශේෂ හමුවේ දීය.

නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකරන නිවාස ව්‍යාපෘතියන් හි සේවය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු ශ්‍රමිකයින් ගේ කුසලතා සඳහා හරසර දක්වමින්, මාර්තු 30 වැනිදා ජනපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් 'දෑ අභිමානී හරසර සම්මාන උළෙල' මේ 30 වන දා සුගතදාස ගෘහස්ථ ක්‍රී ඩාංණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2015 වසරේ ඇති වූ ආණ්ඩු වෙනසත් එක්ක ඇති ‍වූ ප්‍රතිපත්ති සමග සහ අතීතයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු වී ඇති අක්‍රමිකතා වල පරීක්ෂණත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මග නතර වූ බව සඳහන් කළේය. රටේම වැඩ නතර වී රටේ කිසිදු වැඩක් නොකෙරන බවට මතවාද පැතිරවීමක් සිදු වූ නමුත් 2016 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැවත විශාල පිබිදීමක් , පරිවර්තනයක් සිදු වූ බවත් ඒ මහතා අවධාරණය කළේය. අන්තර් ජාතික මුල්‍ය ආයතන වාර්තා වලට අනුව 2016 වර්ෂයේ රටේ ප්‍රගතියක්, ඉදිරි ගමනක් පෙන්වා ඇත්තේ ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් පමණක් බව අනාවරණය කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන් එකක් සංචාරක ව්‍යාපාරය වන අතර අනෙක ඉදිකිරීම් ක්ෂේත්‍රය බවයි.