රමේෂ් – මොහාන් – සජින් සංවිධායක ධුරවලින් දොට්ට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් ප්‍රියදර්ශනද සිල්වා සහ වෛද්‍ය රමේෂ් පතිරණ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.

ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාද ශ්‍රීලනිප සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇත.

ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අක්මීමන ආසනයේ නව සංවිධායකවරයා ලෙස දකුණු පළාත් අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක මහතා පත් කර තිබේ.

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා සංවිධායක ධුරය දැරූ රත්ගම ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ මහතායි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සංවිධායක ධුරය දැරූ බළපිටිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්නද සිල්වා මහතාය.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.