හඳුනා නොගත් මැක්කන් බෝවෙලා

දෙහිවල-ගල්කිස්ස නගර සීමාවේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වෙඩිකන්ද ප්‍රදේශයේ වෙරළ තීරය ආසන්න පැල්පත් නිවාසවල හඳුනා නොගත් මැක්කන් විශේෂයක් බෝවී ප්‍රදේශවාසීන් දැඩි සෞඛ්‍ය තර්ජනයකට ලක්වී ඇතැයි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

මෙම සතුන් වෙරළ තීරයේ හා අවට තෘණ බිම්වල ශීඝ්‍රයෙන් බෝවීමක් ඇති නිසා අවට නිවාසවලට ද බෝවී ඇතැයි ද ඒ අනුව නිවාසවල දොර ජනෙල්වල, බිත්තිවල, ඇඳ පුටු මේසවල අධික ලෙස බෝවී සිටිනු දක්නට ලැබේ.

ඒ අනුව මෙම මැක්කන් ‍පොළොව මතුපිට ගමන් කරමින් ළමුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දෙපාවලට ගමන් කර දෂ්ට කිරීමෙන් බිබිළි මතුවී සුව නොවන තුවාල ඇඟ පුරා ඇතිවී කකුල් ඉදිමීමට ද ලක්වීම නිසා මේ වන විටත් ළමුන් විශාල පිරිසක් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරනු ලැබ ඇතැයි ද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කියා සිටී.

මේ අනුව මේ වනවිටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හා තෙල් ඉසීමේ යන්ත්‍ර ක්‍රියාකරුවන් යොදවා රසායනික බෙහෙත් ඉසීමේ කටයුතු ද ආරම්භ කර මැක්කන් මර්දනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ බවත් එල්ලාවල මහතා කියා සිටී.