නිරූපමා ශ්‍රීලනිප සංවිධායකකමින් අස්වෙන්න යයි

නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුල්කිරිගල ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වීමට සූදානම්වන බව වාර්තා වේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වූ එකම මහින්ද රාජපක්ෂ ඥාතියා සේ සැලැකෙන ඇය මේ තීරණය ගෙන ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විසින් දිගින් දිගටම බලපෑම් කිරීම නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇයට මාමා කෙනෙකු වේ.

අද (17) ද ඇයට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ අතර පසුව ඇයට අද නොඑන ලෙසත් තවත් දින තුනකින් පැමිණෙන ලෙසත් දන්වා තිබූ බව පැවසේ.

ඇය, මීට පෙර මුලිකිරිගල ශ්‍රීලනිප බලමණ්ඩලය කැඳවා තිබූ දිනයේදී ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නිරූපමාට කැඳවීමක් කර තිබූ බවත් වාර්තාවේ.

නිරූපමා එම කැඳවීම පසුපසට දමාගෙන ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අදාළ තත්ත්වය ගැන පැහැඳිළි කිරීමක් කරදීය.

කෙසේවුවද, මෙසේ රස්තියදු කිරීම ශ්‍රීලනිපය කෙරෙහි කළකිරවීමට කිසියම් පිරිසකගේ උපක්‍රමයක්ද යන්න පිළිබඳව සැක මතුවන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් කියා සිටියේය.

එසේම ප්‍රියංකර ජයරත්න මහතා ද පසුගිය දා සිය අමාත්‍ය ධූරය අත්හරින ලද්දේ ඔහුද නිතර නිතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීම නිසාය.

නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියාවන්නේ ප්‍රකට ව්‍යාපාරික තිරු නඩේසන් මහතාය.

ශ්‍රීලනිප කරදර කරන්නේ හිතාමතා - අමරවීර

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධානී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට සැලවී ඇති බවත්, ශ්‍රීලනිපයේ ප්‍රධානීන්ට මෙසේ හිරිහැර කිරීම සම්බන්ධයෙන් තමා ජනපතිවරයාට පැමිණිලිකරන බවයි.

මෙය හිතාමතා කරන්නක් බවට තමාට සැකයක් ඇති බවද ඔහු කියා සිටියේය.