ටැංකි සුද්දාගෙන් ව්‍යාපෘතියක්

නාරා ආයතනය මගින් ආගන්තුක ආක්‍රමණශීලී මත්ස්‍ය‘යෙකු වන ටැංකි සුද්දා (Hypostomus plecostomus) යොදා ගනිමින් මත්ස්‍ය ආහාර නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.ඒ අනුව ටැංකි සුද්දන් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 10කට ධීවරයන් වෙතින් මිලට ගැනීමේ නියාමන ව්‍යාපෘතියක් නාරා ආයතනය විසින් කලා වැව ආශ්‍රිතව දියත් කර තිබේ.

එලෙස මිලට ගනු ලබන ටැංකි සුද්දන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ පිහිටි මත්ස්‍ය අපද්‍රව්‍ය යොදා ගනිමින් මත්ස්‍ය ආහාර නිපදවීමේ යන්ත්‍රය හරහා ඇඹරීමකට ලක්කර මත්ස්‍ය ආහාර නිපදවීම සඳහා යොදා ගැනෙන බව සඳහන් වේ.

මේ වනවිට කලා වැව ආශ්‍රිතව සිදුකරන මෙම ටැංකි සුද්දන් මිලට ගැනීමේ නියාමන ව්‍යාපෘතිය ඉදිරියේදී රාජාංගණය ජලාශය ආශ්‍රිතව සිදුකිරීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී ශ්‍රී ලංකාව ආනයනය කරන මෙම මත්ස්‍ය විශේෂය මේ වනවිට දිවයින පුරා ජලාශ ආශ්‍රිතව ව්‍යාප්තව ඇති බවයි.එහිදී මෙම මසුන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත මත්ස්‍යයන්ගේ බිත්තර මෙන්ම කුඩා මත්ස්‍ය පැටවුන්ද ආහාරයට ගැනීම හේතුවෙන් මිරිදිය මසුන් බෝවීමේ ප්‍රමාණය ශීඝ්‍ර‘‘යෙන් පහත වැටෙමින් පවතින බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මිරිදිය ධීවරයන් විසින් අල්ලා ගනු ලබන මත්ස්‍ය ප්‍රමාණයන්ගෙන් 80෴ක ප්‍රමාණයක් මෙම ටැංකි සුද්දන් වීම මේ වනවිට බරපතළ ගැටලුවක්ව ඇති බවයි. කෙසේවෙතත්, ටැංකි සුද්දන් යොදා ගනිමින් කරවල නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.