ටෙස්‌ට්‌ ශ්‍රේණියේ ලංකාවට වෙච්චදේ

test cricket ranking lanka
දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 3-0 ක්‌ ලෙස අන්ත පරාජයට මුහුණ දුන් ශ්‍රී ලංකාවට නවතම ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු හතරක්‌ අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබූ දකුණු අප්‍රිකානුවන් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු පහක්‌ එකතු කර ගනිමින් අදාළ ශ්‍රේණියේ තෙවැනි තැන දක්‌වා උසස්‌වීම් ලැබ තිබේ. මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 96 ක්‌ සහ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 102 ක්‌ වශයෙන් ලබා තිබුණි.

වත්මන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 92 ක්‌ සමග හත්වැනි ස්‌ථානයේ පසුවන අතර තෙවැනි ස්‌ථානය දක්‌වා උසස්‌වීම් ලද දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 107 ක්‌ ලබා තිබේ. කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු 120 ක්‌ ලබා සිටින ඉන්දියාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

ශ්‍රී ලංකාවට පසුපසින් ප්‍රසාද ලකුණු සටහනේ සිටින්නේ බටහිර ඉන්දිය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ රටවල් තුන පමණි.

ටෙස්‌ට්‌ තරග තුනේදීම ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වුයේ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පමණි. එහිදී ඔහු ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 29.66 ක්‌ ලෙස රඳවා ගනිමින් එක්‌ අර්ධ ශතකයක්‌ සමග මුළු ලකුණු 178 ක්‌ ලබා තිබේ.

"මම පරදින කණ්‌ඩායම්වල හිටියත් මේ පරාජය නායකයකු ලෙස ඉතාමත් කනගාටුදායක අවස්‌ථාවක්‌. මොකද අපි පරදින්න ක්‍රීඩා කරන්නෙ නැහැ. නමුත් අපි දකුණු අප්‍රිකාවට කිසිම සටනක්‌ ලබාදුන්නෙ නැහැ. මා ඇතුළු සියලුම පිතිකරුවන් පරාජයේ වගකීම භාර ගත යුතුයි. අපි ගොඩක්‌ මහන්සියෙන් ක්‍රීඩා කළත් තරගයේදී අවධානය හරියට තියා ගත්තෙ නැහැ කියල මම විශ්වාස කරනවා." යෑයි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් ටෙස්‌ට්‌ තරගාවලිය පුරාවටම ලබා ඇත්තේ අර්ධ ශතක හතරක්‌ පමණි. එහිදී දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්‌ සහ කෞෂාල් සිල්වා මැතිව්ස්‌ට අමතරව තරගාවලියේදී අර්ධ ශතක වාර්තා කළද ඔවුන්ට සමස්‌ත තරගාවලියේදී මුළු ලකුණු 150 සීමාව පන්නා යැමටද නොහැකි වූහ.