2017 ඔබට කොහොමද?


මේෂ ලග්නය

2017 ජනවාරී 26 දා සෙනසුරු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 09 වැන්නවූ ධනු රාශියට ය. ඔබට සියලු සුබපල උදාකරන ත්‍රිකෝණස්ථානය වූ 09 වැන්න ඔබට මිතුරු ගුරු ග්‍රහයාට හිමි ස්ථානයකි. ඔබ භාග්‍යවන්තයකුවීම ගැන සතුටු වන්න. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙයි. මෙතැන් සිට වසර හතක් ම ඔහු ඔබේ හිස මුදුනේ ගමන් ගනී. ලග්නයේ යුරේනස් සහ 09 වැන්නේ සෙනසුරු අතර හට ගන්නා අංශක 120 ත්‍රිකෝණ දෘෂ්ටිය ඉතා සුබදායක ය. සියලු අභියෝග ජය ගැනීමට අත්‍යවශ්‍ය වන්නා වූ ආත්ම ශක්තිය සහ පෙරළිකාර නිර්මාණාත්මක චින්තනය ඔබට ඉටු දෙවියකු ලෙස පිහිටවනු ඇත. ගුරු ග්‍රහයා වක්‍රව ඔබේ ලග්නයෙන් 06 වැන්නේ පඨවි රාශියක ගමන් ගැනීම ඔබේ සෞඛ්‍යයට එතරම් යහපත් නොවේ. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ කටක ජල රාශියට පැමිණෙයි. මේ සමඟ ම වූ අනෙක් ග්‍රහ පිහිටීම් අනුව ඔබේ පදිංචිය සහ රැකියා ස්ථානයේ නියත වෙනසක් සිදුවන බැව් පැහැදිලි වේ. විදේශගතවීම්වලට ද වැඩි ඉඩක් පවතී. කෙසේ නමුත් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ 2017 ඔබේ ජීවිතයේ මහත් පෙරළියකට මුල පුරන වසරක් වන බවයි.

වෘෂභ ලග්නය

ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ගිනි බලැති ධනු රාශිය ඔබට සතුරුවන අතර ම 2017 ජනවාරි 26 දා එහි පිවිසෙන සෙනසුරු විසින් අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වයක් ද උදා කරනු ලබයි. මෙහිදී ඔබට ජීවිතයේ අලුත් ම සහ යහපත් ම පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාව උදාවෙයි. 2017 අප්‍රේල් 08 දා ඔබේ ලග්නයෙන් 12 වැන්නට එන යුරේනස් සහ 08 වැන්නේ සෙනසුරු අතර හට ගන්නා ගිනි - වායු සංයෝගය ඔබට එතරම් යහපත් නොවේ. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ අති මිතුරු කටක ජල රාශියට පැමිණීම අතිශය ප්‍රබල වාසනාවන්ත තත්ත්වයකි. මෙතෙක් පැවති සියලු පීඩාවන් නසා අනපේක්ෂිත යස ඉසුරු සම්පත් සහ ස්වර්ණමය අවස්ථාවන් උදා කර දීමට රාහු ග්‍රහයා වේගයෙන් ක්‍රියාත්මක වෙයි. 2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ වායු බලැති 06 වැන්නට පිවිසීම ඔබේ සෞඛ්‍ය තත්ත්වයට එතරම් හිතකර නොවේ. කෙසේ නමුත් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2017 යනු ජීවිතයේ දෛවය තියුණු පරීක්ෂාවකට භාජනය කෙරෙන අවස්ථාවකි.

මිථුන ලග්නය

2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබේ ලග්නයෙන් 7 වැන්න වූ අති මිතුරු ගිනි බලැති ධනු රාශියට පැමිණීම මිශ්‍ර පල ගෙන දෙන අවස්ථාවකි. ඔබේ විවාහ ජීවිතය සහ සමාජ සබඳතා පිළිබඳව කැපී පෙනෙන වෙනසක් ස්ථිරව ම හට ගන්නා අතර එයින් ජීවිතයේ මහත් පෙරළියකට මුල පුරයි. ගුරු හිමි ධනු රාශියේ තැන්පත්වන ඔබේ කේන්දරයේ 08 සහ 09 අධිපති සෙනසුරු විසින් ඔබේ රැකියාව සහ අය මාර්ග කෙරෙහි අභියෝගාත්මක අවස්ථාවන් උදා කරයි. එහෙත් බාධක මැද ජයග්‍රහණ ලැබීමට ඔබට වුවමනාවටත් වඩා හැකියාව තිබේ. 2017 අප්‍රේල් 08 දා ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ ගිනි බලැති මිතුරු රාශිය වූ මේෂයට එන යුරේනස් ඔබ අද්වීතීය බලයකින් සහ අසහාය පෞරුෂයකින් සන්නද්ධ කරවයි. 2017 අගෝස්තු 17 දා ඔබේ ලග්නයෙන් දෙවැන්න වූ කටක ජල රාශියට පැමිණෙන රාහු ග්‍රහයා ගෙන් පරෙස්සම් විය යුතුය. ආහාර පාන සහ වචන යන දෙක ම ඉතා පරෙස්සමින් භාවිතා නො කළොත් ඔබ වැටෙන්නෙ ගොඩගත නොහැකි වළකට ය.2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ අති මිතුරු වායු බලැති තුලා රාශියට පැමිණීම සහ එතැන බලවත් ත්‍රිකෝණස්ථානයක් වීම ඉතා බලවත් පිහිටීමකි. සත් පුරුෂ ඇසුර සහ උගතුන් නැණවතුන් ආදීන්ගෙන් ප්‍රබල උපකාර හිමිවෙයි. ඒ සමඟ ම ඔබේ රැකියාව ද නිසැක වෙනසකට ලක්වෙයි. සමස්ථයක් වශයෙන් ගත් කළ 2017 මිථුන ලග්නයෙන් උපන් ඔබට ඉතා වාසනාවන්ත සහ අභියෝගාත්මක වර්ෂයකි.

කටක ලග්නය

2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ගිනිකාරක ධනුවට එන සෙනසුරු ඉතා බලවත් ය. . ඔබ කිසියම් බලවත් රෝග හෝ සතුරු පීඩනයකට ලක්ව සිටියා නම් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් ම ඉවත්ව යයි. ඉහළ තනතුරු ලැබිය හැකි මුත් ඔබ අති ධාවනකාරී නොවිය යුතු ය. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පැමිණීම ඉතා බලවත් පිහිටීමකි. . ඉදිරි සත් වසරක කාලය ඔබේ ජීවිතයේ අති මහත් පෙරළියකට භාජනය කරවයි. ඔබ දේශපාලනයේ හෝ එවැනි සමාජ සංවිධාන ආදියේ ක්‍රියාකාරීවන අයෙකු නම් ඉතා බලවත් තනතුරු ආදියට පත්වෙයි. 2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නයෙන් 06 සහ 09 වැන්න අධිපති ගුරු ග්‍රහයා වායු බලැති 04 වැන්න වූ තුලා රාශියට පැමිණෙයි. එවිට ගුරු සහ යුරේනස් අතර අංශක 180 ක් ද සෙනසුරු සහ යුරේනස් අතර අංශක 120 ක් ද වශයෙන් දෘෂ්ටි සංයෝගයක් හට ගනී. මෙය ඔබේ ජීවිතයේ එක ම එක් වරක් පමණක් යෙදෙන පිහිටීමක් වන්නා සේම . මෙතෙක් පැවති ඔබේ ජීවන රටාව උඩු යටිකුරු කරවන කාලයක් උදා වී තිබේ. සමස්ථයක් වශයෙන් ගත් කළ කටක ලග්නයෙන් උපන් ඔබට 2017 වසර තීරණාත්මක ක්‍රීඩා ඉසව්වකි. ජය පරාජය නොසලකා තරගයේ නීති රීතී පිළිපදින්න. එවිට අවසන් ජයග්‍රාකයා වන්නේ ඔබ ය.

සිංහ ලග්නය

2017 ජනවාරි 26 දා සිට ඉදිරි වසර දෙක හමාරක කාලයේ සෙනසුරු ගමන් ගන්නේ ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයක් වූ 05 වැන්නේ ය. මේ අවස්ථාව මිශ්‍ර පලදායක ය. කෙටියෙන් ම කිවහොත් රස්සාව සහ පරස්ථාව යන දෙකම හෙල්ලුම්කන තත්ත්වයක් මතුවෙයි. එහෙත් ඒ කිසිවකින් ඔබේ ජයග්‍රහණයන් වැළැක්විය නොහැක. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙන්නේ වසර 84 කට පසුවයි. ඔබ ජීවිතයේ කිසිදා මුහුණ නොදුන් අනපේක්ෂිත සිදුවීම් මාලාවක් ඉදිරි සත් වසර පුරාම අත් දකින්නට සිදුවෙයි. ඔබේ ජීවිතය අංශක 360 කින් වෙනස් වෙයි. රාහු ග්‍රහයා තවමත් ගමන් ගන්නේ ඔබේ හිස මතින් ය. එය ද පීඩාදායක ය. 2017 අගෝස්තු 17 දා එකී රාහු ඔබට ඉතා ම සතුරු ජල බලයෙන් යුත් කටක රාශිය හෙවත් ඔබේ ලග්නයෙන් 12 වැන්නට ගමන් ගනී. ජන්ම කේන්දරයේ රාහු දුබල නම් මේ එතරම් යහපත් තත්ත්වයක් නොවේ. දැනට ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ පඨවි බලයෙන් යුත් කන්‍යාවේ ගමන් ගන්නා ගුරු ග්‍රහයා නිසා ඔබ කෙසේ හෝ නොවැටී සිටී. එහෙත් 2017 සැප්තැම්බර් 13 දා එකී ගුරු ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ වායු බලයෙන් යුත් තුලා රාශියේ ගමන් කරන්නට ගනී. එවිට ගුරු සහ සෙනසුරු අතර අංශක 180 ක දෘෂ්ටි සංයෝගයක් හට ගනී. මේ ඔබේ ජීවිතයේ ඉතා ම කලාතුරකින් හට ගන්නා අති ප්‍රබල ආධ්‍යාත්මික ඥාන විභාගයකි.

කන්‍යා ලග්නය

2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබේ ලග්නයෙන් 04 වැන්නට පිවිසෙයි. සෙනසුරු ඔබේ 05 වැන්න සහ 06 වැන්න අධිපතියා ය. මෙතෙක් පැවති ඔබේ චින්තන රටාව මහත් විපරිවර්තනයකට ලක්වෙයි. එහි හොඳ හා නරක යන දෙකම තිබේ. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න හෙවත් සතුරු ගිනි බලැති මේෂ රාශියට පැමිණීම අනතුරුදායක ය. 2017 අගෝස්තු 17 දා වනතුරු රාහු ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු බලැති සිංහ රාශියේ ගමන් කිරීම ද සුබදායක නොවේ. මේ නිසා 2017 අප්‍රේල් 08 සිට අගෝස්තු 17 දක්වා වූ මාස පහක කාලය ඔබ විශේෂයෙන් පරෙස්සම් විය යුතුය. කෙසේ නමුත් 2017 අගෝස්තු 17 දා සිට රාහු ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ අති මිතුරු කටක රාශියේ ගමන් කිරීම ඉතා සුබදායක ය. එතෙක් පරෙස්සම්වන්න. 2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්නට පිවිසීම ද ඉතා සුබදායකය. ඊට අමතරව 08 වැන්නේ තැන්පත් යුරේනස්ගේ සතුරු බල හීන කිරීමට ද ගුරු ක්‍රියාත්මකවනු ඇත. එහෙත් ගුරු ඔබේ බාධක ග්‍රහයා වෙයි. මේ නිසා ජන්ම කේන්දරයේ ගුරුගේ පිහිටීම අනුව ප්‍රතිඵලය වෙනස්විය හැකිය. සමස්තයක් වශයෙන් ගත් කළ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2017 මිශ්‍ර පලදායක වර්ෂයකි. එහෙත් ඉවසීම සහ නම්‍යශීලීබව ඇති කැර ගත හැකි නම් අවසන් ජයග්‍රාහණය ඔබ සතුවෙයි.

තුලා ලග්නය

2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබට ඉතා ම මිතුරු ගිනි බලයෙන් යුත් ගුරු හිමි ධනු රාශියට පිවිසෙයි. ධනු රාශිය ඔබේ කේන්දරයේ 03 වැන්න වන්නා සේම සෙනසුරු මහත් බලයක් අත් කර ගන්නා ස්ථානයකි. 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස ඔබ සතුටු වන්න. ඔබේ සියලු සුබ පල ක්‍රියාත්මක කරවන යෝග කාරක සෙනසුරු ඉතා බලවත්ව ධනු රාශියේ ගමන් කිරීම නිසා මින් ඉදිරියට ඔබ සෑම සියලු අතින් ම සාර්ථකත්වය ලබයි. සිත් තැවුල් මෙන් ම කායික පීඩාවන් ද දුරු වී යයි. ඉතා සුබ කාල පරිච්ඡේදයක බලවත් ආරම්භයකි. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 7 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පිවිසෙයි. අනෙක් සියලු කටයුතු අතින් ඔබ භාග්‍යවන්තයකු වුවත් යුරේනස් වැනි පෙරළිකාර වායු බලැති ග්‍රහයකු 7 වැන්නේ ගිනි බලය සමඟ සංයෝගවීම එතරම් යහපත් නොවේ. ඔබේ විවාහ ජීවිතය සහ සමාජ සබඳතා සම්බන්ධයෙන් අති ධාවනකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පිවිසෙයි. යම් යම් බාධා මැද වුවත් ඔබගේ වෘත්තීය කටයුතු ඉතා කඩිනම් දියුණුවක් ලබයි. සේවා ස්ථානය තුළ ඔබේ බලය සහ නම ප්‍රකට කෙරෙයි. සමාජයේ ද ප්‍රසිද්ධියට පත්වන කරුණු යෙදෙයි. මෙය ද ඔබට සුබදායකය. 2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණෙයි. මේ ග්‍රහ පිහිටීම් සියල්ල ගත් කළ ඔබේ කේන්දරයේ ඉතා බලවත් ලෙස ගිනි සහ වායු මධ්‍යස්ථාන උත්තේජනය කෙරෙයි. මෙය ඔබට ඉතා යහපත් ය. පෙර නොවු විරූ බල පරාක්‍රමයක් ඔබ වෙතින් ප්‍රකට වන අතර අති ධාවනකාරී ගමනක් ද පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන් ගත් කළ ධනය බලය සහ වික්‍රමය යන ත්‍රිවිධ අංශයෙන් ම ඔබ පොහොසත් වෙයි. ඒ අනුව ඔබ 2017 වසරේ විජයග්‍රාහකයා ලෙස නම් කළ හැකිය.

වෘශ්චික ලග්නය

2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පිවිසෙන සෙනසුරු විසින් මීට වසර 29 කට පෙර ඔබ මුහුණ දුන් අත්දැකීම්වලට සමාන තත්ත්වයක් නිර්මාණය කරනු ලැබේ. 2017 ජනවාරි 26 දා සිට ඔබ විසින් ගත කරනු ලබන්නේ වසර හත හමාරක ඒරාෂ්ඨක සමයේ අවසන් සහ දුෂ්කර ම කාල පරිච්ඡේදය යි. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ඔබට පරම සතුරු වූ ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණීම සුබදායක නොවේ. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ පරම මිතුරු ජලකාරක කටකයට පැමිණීම මිශ්‍ර පලදායක ය. ඔබ තුළ ධාර්මික සිතිවිලි ජනිත කරවන අතර කිසියම් ආධ්‍යාත්මික කැළඹීමක් ද පෙන්නුම් කරයි. විදේශ ගමන් ඇති කරවයි. එහෙත් නිසැකයෙන් ම 2017 අගෝස්තු වන විට ඔබේ රැකියාවේ වෙනස්වීමක් පෙන්නුම් කරයි. 2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ සතුරු වායු බලැති තුලාවට පිවිසීම ඉතා අහිතකර ය. ගුරු ඔබේ ලග්නයෙන් 02 සහ 05 වැන්න අධිපතියා ය. 10 වැන්නෙන් 08 වැන්න ඔබේ ලග්නයෙන් 05 වැන්න වන අතර එහි අධිපතියා 12 වැන්නට පිවිසීම රැකියාව පිළිබඳව ඉහත කී අනතුරුදායක බව බලවත් ලෙස තහවුරු කිරීමකි. එමෙන් ම 02 වැන්නාධිපති වූ ගුරු 12 වැන්නට යෑම ඔබේ තැන්පත් ධනය සහ පවුල් සංස්ථාව කෙරෙහි දුෂ්කර සිදුවීම් ජනිත කරවන්නකි.

ධනු ලග්නය

2017 ජනවාරි 26 දා සෙනසුරු ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙයි. සෙනසුරු කොයි තැනට මාරක වෙතත් ධනු රාශියේදී නම් දෙවියන් බ්‍රහ්මයන් ලෙසින් ලෝ සතට උපකාර කරන්නට ඉදිරිපත් වෙයි. සෙනසුරු ධනු රාශියේ ගමන් ගන්නේ ගුරු ග්‍රහයාගේ බලය ද තමා වෙත ආරෝපණය කැර ගනිමිනි. එහෙයින් සෙනසුරු ලග්න ඒරාෂ්ටකය පිළිබඳව කිසිදු ධනු ලග්න හිමියකු බිය විය යුතු නොවේ. එහෙත් ඔබේ ජීවිතයේ අති දැවැන්ත පරිවර්තනයක් 2017 ජනවාරි 26 දා සිට ආරම්භ වෙයි. භාරධූර වගකීම් ඔබ මත පැටවෙයි. 2017 අප්‍රේල් 08 දා පෙරළිකාර වායු බලැති යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එතැන ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයකි. මේ සමඟ ම යුරේනස් සහ සෙනසුරු අතර අංශක 120 සුබ දෘෂ්ටි සංයෝගයක් හට ගනී. ඒ ඉතා බලවත් පිහිටීමකි. ඔබගේ කේන්දරයේ 1-5-9 යන අති ප්‍රබල ත්‍රිකෝණ බල මධ්‍යස්ථාන වන ගිනි රාශි ත්‍රිත්වය ම ඒවාට අති මිතුරු ප්‍රතිපෝෂක වායු ග්‍රහයන් තිදෙනා විසින් උත්තේජනය කරනු ලැබේ. මේ ඉතා ම කලාතුරකින් හටගන්නා සංසිද්ධියකි. 2017 ඔබේ ජීවිතයේ අති මහත් පෙරළියකට මුල පුරන අවස්ථාවක් වෙයි. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ජලකාරක කටක මර්මස්ථානයට පිවිසීම තරමක් පීඩාදායක ය. 2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා 11 වැන්න වූ ඔබට පරම මිතුරු වායු බලැති තුලාවට පිවිසීම මහා භාග්‍යමත් කාලයක ආරම්භය වෙයිසමස්තයක් වශයෙන් ගත් කළ 2017 ධනු ලග්නයෙන් උපන් ඔබ විශිෂ්ටයකු බවට පත් කරවන ජයග්‍රාහී වසරකි.

මකර ලග්නය

2017 ජනවාරි 26 දායින් පසුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ රාජකීයත්වයේ රශ්මි මාලාව මලානික වෙමින් යන්නේ ඔබේ ලග්නාධිපති ඔබට සතුරු ධනු ගිනි රාශියේ ගමන් ගනිමින් ලග්න ඒරාෂ්ටකය ආරම්භ කරන හෙයිනි. ධනුව ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ මර්මස්ථානයකි. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ සතුරු ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙයි. එතැන් සිට ඔහු ඔබේ ලග්නයෙන් 10 වැන්න වූ වායු බලැති තුලා රාශිය දකී. මේ ඔබේ රැකියාව පිළිබඳ මතභේදාත්මක වාතාවරණයක ආරම්භයකි2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 07 වැන්න වූ පරම මිතුරු කටක රාශියට ගමන් කරයි. ලග්නයෙන් 08 වැන්නේ සතුරු සිංහ රාශියේ ගමනට වඩා 07 වැන්නේ මිතුරු කටකයේ රාහු ගමන ඔබට හිතකර නොවේ. විවාහය - සහකරු හෝ සහකාරිය - සමාජ සබඳතා - හවුල් කටයුතු යනාදිය ආශ්‍රිතව අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙයි. 2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් කිරීමද සුබදායක නොවේ. ඔහු ඔබේ ලග්නයෙන් 03 සහ 12 අධිපතියා ය. රැකියාවේ නියත වෙනසක් එමඟින් නිවේදනය කරයි. එහෙත් ගුරු නෛසර්ගික සුබ ග්‍රහයකු වන හෙයින් ඔබව සොලවනවා මිස වට්ටන්නේ නැත. කෙටි සංචාර සහ විදේශ ගමන් බහුල වෙයි. ඒවායින් ලාබ ප්‍රයෝජන හිමිවෙයි.

කුම්භ ලග්නය

2017 ජනවාරි 26 දා ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබට අති මිතුරු ගිනි රාශිය වූ ධනුවට පැමිණෙයි. ධනු රාශිය ඔබේ ලග්නයෙන් 11 වැන්න හෙවත් සියලු සුබ යෝග ක්‍රියාත්මක කරවන රුවන් දොරටුවයි. ඉදිරි වසර දෙක හමාරක කාලය වසර 30 කට පසුව උදාවන ස්වර්ණමය අවස්ථාවකි. අහිමි වූ රැකියා - තනතුරු - උසස්වීම් සහ ඊට හිමි සියලු වරප්‍රසාද වන්දි සමඟ ම ඔබට නැවත හිමිවෙයි. සියලු අතින් ම ඔබ බලවත්වන අතර නව ආදායම් මාර්ග විවෘත වෙයි. මේ කාලයෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගත යුතු ය. 2017 අප්‍රේල් 08 දා පෙරළිකාර යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වු ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එවිට ඔබේ ලග්නයේ 11 සහ 03 යන කාම ගිනි ත්‍රිකෝණයේ තැන්පත් සෙනසුරු සහ යුරේනස් අතර අංශක 120 ප්‍රබල දෘෂ්ටි සංයෝගයක් හටගනී. ඔබ නිරත ක්ෂේත්‍රය කුමක් වුවත් ඔබ එහි විශිෂ්ටයකු බවට පත්වෙයි. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ජල බලැති කටක රාශියට පිවිසෙයි. 06 වැන්න රාහු ග්‍රහයා ඉතා බලවත්වන ස්ථානයකි. ඔබේ සතුරන් භීතියට පත් කරවමින් ඔබේ යසස පැතිරෙයි. විදේශ ගමන් - විදේශ රැකියා - විදේශ ශිෂ්‍යත්ව ආදිය ආයාසයකින් තොරව ලබාගත හැකිවෙයි. 2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ වායු බලැති තුලා රාශියට පැමිණීම අතිශය සුබදායක ය. එමගින් ඔබේ කේන්දරයේ 1-5-9 යන වායු බල ත්‍රිකෝණය තුළ විශිෂ්ට බලයක් ගැබ්වෙයි. සමාජයේ උසස් ම තනතුරු හොබවන බලවතුන් - රාජ්‍ය නායකයන් - සහ ආගමික උතුමන් වෙතින් පිහිට ආරක්ෂාව ලබයි. මේ සමඟ ම ඔබේ රැකියාවේ කැපී පෙනෙන වෙනසක් හට ගනී. සමස්තයක් වශයෙන් 2017 වර්ෂය කුම්භ ලග්නය හිමි ඔබට දෛවයෙන් ලැබෙන අසිරිමත් ම කාල පරිච්ජේදයක් වෙයි.

මීන ලග්නය

2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 10 වැන්න හෙවත් ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පැමිණෙන සෙනසුරු විසින් ඔබේ රැකියාව සහ ක්‍රියා කෞෂල්‍යය කෙරෙහි ඉතා අහිතකර පීඩනයක් ඇති කරනු ලැබේ. 2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු මේෂ ගිනි රාශියට පැමිණෙයි. ඔබේ තැන්පත් ධනය සහ කුටුම්බය කෙරෙහි ඉන් ඇති කෙරෙන්නේ අනර්ථයකි. එහෙයින් ඉදිරි සත්වසරක කාලය ඔබ අලුත් ආයෝජන කෙරෙහි යොමු නොවීම වැදගත් ය. 2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයේ බලවත් ස්ථානයක් වූ 06 වැන්න අතහැර 05 වැන්න වූ ඔබට පරම මිතුරු කටක රාශියට පැමිණීම ද අහිතකරය. ඔබ අවිවාහකයෙක් නම් ඔබේ ප්‍රේම සබඳතා ආදියෙහිදි ආවේගශීලී නොවීමට වග බලාගත යුතුව තිබේ. 2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නයේ සම අධිපති ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ඔබට සතුරු වායු බලයෙන් යුත් මර්මස්ථානයට පැමිණෙයි. වධකාගාරයේදී කුමන බලවතකු වුව අසරණ වන්නා සේ මහ බලවත් ගුරු ග්‍රහයා ද 08 වැන්නේදී දුබල වෙයි. මෙය ද ඔබට දැඩි පීඩනයකි. ගිනි රාශියක සිටින යුරේනස් අංශක 180 අසුබ දෘෂ්ටියකින් ඔබේ ලග්නයේ 08 වැන්න සහ ලග්නාධිපතියා පීඩනයට පත් කිරීම අනතුරුදායක ය. රුධිරගත මේදය - ගින්දර - පුපුරන ද්‍රවය - වස විස - සහ විදුලිය යනාදියෙන් අනතුරු ඇතිවිය හැකි හෙයින් පරෙස්සම්වන්න.

කේ.සී.ජේ.රත්නායක