ඉදිරියේදී විදුලිය කැපෙන ලකුණු - වීඩියෝ

පවතින වියලි කාලගුණය හේතුවෙන් ඉදිරියේදී විදුලිය සැපයීීමේ ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඊට මුහුණදීම සඳහා නිර්දේශ මාලාවක් විදුලිබල මණ්ඩලය වෙත යොමුකළ බවයි මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ ප්‍රකාශ කළේ.

දිගුකාලීන ජනන සැලැස්මේ අඩංගු විදුලි බලාගාර නියමිත දිනට පද්ධතියට එකතු කිරීම, සූර්යබල සංග්‍රමය වැඩසටහන යටතේ ගෘහස්ථව නිෂ්පාදනය කරන විදුලිය කඩිනමින් විදුලි පද්ධතියට එක් කිරීම, පෞද්ගලික කර්මාන්තශාලා සහ ගොඩනැගිලි සතුව තිබෙන ස්වයංජනන යන්ත්‍ර මගින් විදුලිය ජනනය කිරීමට අවස්ථාව ලබාදීම සහ දැනට පවතින තාප බලාගාරවලින් උපරිම ධාරිතාවයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම එම නිර්දේශ වනවා.

කෙසේ වෙතත් නොරොච්චෝලේ පළමු බලාගාරය ඔක්තෝම්බර් 15 වනදා සිට අක්‍රියව පවතින අතර එමඟින් අහිමිවී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 270 ක්. මීට අමතරව අවශ්‍ය තරම් ඉන්ධන සැපයුමක් සිදු නොවීම හේතුවෙන් සෙසු තාප බලාගාරද අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ.

කෙසේ වෙතත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ විදුලි කප්පාදුවකට කිසිසේත් යොමු නොවන බවයි.