අධි රුධිර පීඩනය (ප්‍රෙෂර්) යනු වර්තමානයේ බොහෝ පිරිසක් භීතියට පත් කරවන රෝගී තත්ත්වයකි. එයත් සමඟම නිතැතින්ම කියෑවෙන අනෙක් වචනය බවට පත්ව ඇත්තේ කොලෙස්ටරෝල් තත්ත්වයයි. සමාජයේ වෙසෙන පුද්ගලයන්ගෙන් අති බහුතරයක් මෙම රෝගී තත්ත්වයෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බැවින් ඔවුන්ට යම්කිසි සහනයක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් අප මෙම රෝගී තත්ත්වයන් පිළිබඳ දැඩි කැපවීමකින් ප්‍රතිකාර කරනු ලබන ආයුර්වේද වෛද්‍යවරයකු වන රන්පත රුවන් රත්නායක වෛද්‍යතුමා හමුවී ඒ පිළිබඳ තොරතුරු විමසීමු.
* වෛද්‍යතුමනි, කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩන තත්ත්වයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්...
හෘදයේ සිට පිටතට රුධිරය ගමන් කරන රුධිර නාළවල (ධමනි) අභ්‍යන්තර බිත්තිවල මෙම කොලෙස්ටරෝල් (අධික මේදය) තැන්පත්වීම සිදු වන්නේය. මේ නිසා එම රුධිර නාළ අභ්‍යන්තර කුහරය ඉතා සිහින් වීම නිසා එම නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී අපහසු තත්ත්වයන්ට පත්වීම සිදු වේ. එවිට එම නාළ ඔස්සේ රුධිරය ගලායැම සඳහා දැඩි පීඩනයක් ලබාදීම සිදුකළ යුතු අතර සිරුරේ රුධිර නාළ කීපයක මෙලෙස සිහින්වීම හමුවේ රුධිරය ගමන් කිරීමේ ක්‍රියාවලිය සඳහා හෘදයට දැඩි පීඩනයක් යෙදවීමට සිදුවෙයි. මේ නිසා සිදුවන භයානකම තත්ත්වය වන්නේ හෘදයට ඉතා අහිතකර ලෙස බලපෑම් සිදුවීමයි. හෘද පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනිවල අභ්‍යන්තරයේද මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා කාලයත් සමඟ මේවා ඇනරෝමා නමැති තෙල් කැටි තත්ත්වය පත්වේ. මෙම තෙල් කැටි නිසා ඉන් ඔබ්බට රුධිරය ගලායැම අවහිර වීමද සිදු වේ. ඒත් සමඟම එම රුධිර නාලවලින් රුධිරය සැපයුණු හෘදයේ කොටස්වල සෛල මියයැමේ තත්ත්වයක්ද ඇතිවේ. එවිට පපුවේ තද වේදනාවක් හටගැනීම සිදුවන අතර එම වේදනාව උරහිසට, අත්වලට, බෙල්ල දෙසට විහිදී දැඩි වේදනා ඇතිවීමක්ද සිදුවේ. මෙම ක්‍රියාවලියේ දරුණුම අවස්ථාව ලෙස හෘදයේ ක්‍රියාකාරිත්වය ඇනහිට මරණය පවා සිදුවීම නිසා මෙය ඉතා බැරෑරුම් රෝගී තත්ත්වයක් ලෙස සැලකිය යුතුමය.
* මේ රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා ජනතාව කුමක් කළ යුතුද?
විශේෂයෙන්ම කිව යුත්තේ තම සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවයි. වයස අවුරුදු 35 - 40 ඉක්මවන විට ආහාර පාලනය, ව්‍යායාම සිදු කිරීම කළ යුතු අතර රුධිර පරීක්ෂාවන් සිදුකර රුධිර පීඩනය රසදිය මිලිමීටර් 130 - 85 ට වඩා වැඩිනම් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කිරීමත්, ඉතා අවශ්‍ය වන්නේය. ඒ අනුව මේ සියලු දෑ පිළිබඳව දැනුවත්ව කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීම සඳහාත් එම තත්ත්වයෙන් මිදීම සඳහාත් නිවැරැදි ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කළ යුතුය.
* ආයුර්වේද ප්‍රතිකාර තුළින් මේ තත්ත්වයන් වළක්වා ගැනීමට ඇති හැකියාව ගැන කතා කළොත්...
රුධිර පීඩනය වැඩිවීමට හේතුවන කාරණාවන් සොයා බලා එම හේතූන් මුලිනුපුටා දැමීමේ සුවිශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුව තිබෙනවා. බොහෝ අය වර්තමානයේ සිදු කරන්නේ මෙම රෝගී තත්ත්වයන් වැළඳුණු විට ප්‍රෙෂර් පෙත්තක් බී රුධිර පීඩනය අඩුකර ගැනීමට පෙළඹීමයි. නමුත් මේ ක්‍රමය තුළින් ඔවුන්ට මුළු ජීවිත කාලය පුරාම බෙහෙත් පෙති බීමට සිදු වනවා හැර රෝගය සුව වීමක් නොවන්නේය. දිගින් දිගටම ප්‍රෙෂර් පෙති ගැනීම නිසා ශරීරය තුළ අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක්ද පවතින නිසා දිගින් දිගටම එවැනි ඖෂධ භාවිතයෙන් රුධිර පීඩනය පාලනය කිරීම සැබෑ ජයග්‍රහණයක් නොවන්නේය.
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේද මීට හාත්පසින්ම වෙනස් වූවකි. එහිදී සිදු වන්නේ රුධිර පීඩනය පමණට වඩා අඩු හෝ වැඩිනම් ඊට හේතු සොයා බැලීමයි. රුධිර පීඩනය වැඩිවූයේ කොලෙස්ටරෝල් නිසා නම් කොලෙස්ටරොල් වැඩි වූයේ කුමන හේතුවක් නිසා දැයි දෙවනුව සොයා බැලීම සිදු කිරීමයි. ඒ අනුව නිවැරැදිව සොයා බැලීම තුළින් රෝගයේ හටගැනීමේ මුල් අවස්ථාවට ප්‍රතිකාර කිරීම තුළින් රෝග සුවය ලබාදීම ආයුර්වේද ක්‍රමය මගින් සිදු කරයි. බිත්තර කහමද, රක්ත වර්ණ මස් වර්ග, අධික ලෙස සත්ව තෙල් අඩංගු ආහාර වර්ග බහුලව පරිභෝජනය කර සිරුර වෙහෙසා වැඩක් පළක් නොකිරීම මේ රෝගී තත්ත්වයට බලපාන ප්‍රධාන හේතූන් ලෙස දැක්විය හැකියි.
* නමුත් ඇතැම් නිර්මාංශිකයන් සහ තෙල් සහිත ආහාර වැඩිපුර නොගන්නා අයටත් මේ රෝගී තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. ඒ ඇයි?
ආයුර්වේදයට අනුව මෙය විග්රහ කිරීමේදී මේ සියල්ලටම හේතුව ආහාර ජීර්ණයේ දී ඇති දෝෂ සහිත බවයි. අප ගන්නා සත්ත්ව හෝ ශාකමය ආහාර ලෙසවූ ඕනෑම ආහාර වර්ගයක විවිධ ප්‍රතිශතවලින් මේද කොටස් තිබෙනවා. කොලෙස්ටරෝල් නිපදවෙන්නේ මෙම මේද කොටස් ජීර්ණයේ දී ඇතිවන රසායනික පරිවර්තනයන් ගණනාවකිනි. කොලෙස්ටරෝල් යනු එක්තරා මට්ටමකින් රුධිරයේ තිබිය යුතු රසායනික පදාර්ථයන්ය. ඒවා හිතකර සහ අහිතකර ලෙස පවතින ප්‍රමාණයන් අනුව ක්‍රියා කරයි. කෙසේ නමුත් සිරුරට අහිතකර අන්දමින් කොලෙස්ටරෝල් ඉහළ යැමට හේතු වන්නේ ශරීරයට සැපයෙන මේද කොටස් ජීර්ණයේ දී අක්‍රමවත් හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයන්ට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙසය. එය ඉතා සරලව කීවොත් මුලින් කී පරිදි ජීර්ණයේ දී සිදුවන දෝෂ සහිත බවයි.
මෙම මේද කොටස් නිවැරැදි ලෙස ජීර්ණය වූයේ නම් ශක්තිය ලෙස දේහ ක්‍රියාකාරිත්වයට වැඩදායක වන අතර ඉතිරි ඒවා මළ කොටස් ලෙස සිරුරෙන් බැහැර විය යුතුය. ශරීරයට අහිතකර ලෙස බලපාන මෙම ඇතැම් කොලෙස්ටරෝල් වර්ග ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන්නේ පිත්තස්නේහ වශයෙනි. සැබවින්ම මේවා නිවැරැදි ආකාරයට දිරවූ මේද කෙටස් නොවේ. එනම් බාගෙට දිරවූ ආහාර රසයකි. ඒවා ආම රසය (අමු ආහාර රසය) නම් වේ.
* මෙම අහිතකර කොලෙස්ටරෝල් මර්දනය කරන්නේ කෙසේද?
මෙම අහිතකර කොලෙස්ටරාaල් තත්ත්වය හමුවේ ශරීරයට ඇතිවන උපද්‍රව ලෙස රුධිර පීඩනය වැඩිවීම, අනවශ්‍ය ලෙස තරබාරුව ඇතිවීම, සුළු වැඩක් කළ විට හෝ කෙටි දුරක් පයින් ගිය විට අධික මහන්සියක් දැනීම, අලස බව, නිදිමත වැඩිවීම හෝ නින්ද නොයැම, ඇඟපත රුදාව ආදී ලක්ෂණ පහළ වේ. මෙවැනි අවස්ථාවලදී අප අනුගමනය කරන නිවැරැදි ආයුර්වේද ක්‍රම පවතී. ආම පාචක නම් ඖෂධ යෙදීමෙන් රුධිර නාළ හෝ ශරීරයේ ඕනෑම තැනක ඇති අහිතකර කොලෙස්ටෙරාaල් නැවත ජීර්ණය වීම හෙවත් දියවීම ආරම්භ වේ.
මෘදු විරේචන ඖෂධ මගින් ඒවායේ ඇති අහිතකර පදාර්ථ මළ මුත්‍රා හා දහඩිය මාර්ගවලින් නිරන්තරයෙන් පිටකර හරිනු ලැබේ. ඒ අතරම යොදන ජීර්ණ එන්සයිම සමබර කරන ඖෂධ මගින් ශරීරයට අලුතින් ලැබෙන මේද කොටස් නිවැරැදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස ශරීරයට ලබාදෙයි.
මෙම ක්‍රමවේද මගින් කෙටි කලකින්ම රෝගීන්ට ඉතා සුවදායක තත්ත්වයක් උදාවේ. රෝගියකු රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැඩියි කියා පැමිණියද ඔවුන්ට ප්‍රතිකාර කිරීමට පෙර මේවාට අමතරව පවතින අනෙකුත් රෝග තත්ත්වයන් පිළිබඳව පූර්ව විමසීමක් පූර්ණ ආකාරයෙන් සිදු කිරීමයි. එවිට මෙම රෝගී තත්ත්වයන්ට අමතරව දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, පීනස, තුනටියේ අමාරු, හිසේ කැක්කුම, ඇඟපතරුදාව, අත්පා හිරිවැටීම, මළබද්ධය, වාත රක්තය, විවිධ සමේ රෝග තත්ත්වයන්ද ඇති බව සොයා ගැනීමට හැකි වේ. එවිට එම සියලු රෝගී තත්ත්වයන්ම සළකා බලා ඒ ඒ පුද්ගලයාට ආවේනික වූ ප්‍රතිකාර ක්‍රමවේද හා ඖෂධ රටාවන්ට යොමු කිරීමෙන් එම රෝග නිට්ටාවටම සුව කිරීමට හැකියාව පවතින්නේය.
* දේශීය ඖෂධ සොයා ගැනීමට නොහැකිවීම, ඒවා කැපීම, තැම්බීම හා සකස් කිරීමේ අපහසුතා නිසා රෝගීන් මේ ප්‍රතිකාර සඳහා යොමු වනවා අඩුයි නේද?
බොහෝ විට මේ ප්‍රතිකාර ක්රමයේ ප්‍රායෝගික තත්ත්වයේ දී ඇති වන ගැටලු නිසා බොහෝ පිරිස් ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී මැළිකමක් දක්වනවා. එහෙත් අප ලබා දෙන්නේ පූර්ණ වශයෙන්ම සකස් කළ ඖෂධ නිසා කාර්යබහුල ඕනෑම පුද්ගලයකුට එම ඖෂධ පහසුවෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.