තරබාරුව – දියවැඩියාව මට්ටු කරන ගොරකා විස්මිත ප්‍රතිකාරය

Amazing Health Benefits of Garcinia Cambogia You Didn’t Know

අධික තරබාරුව, රුධිරගත මේදය අද බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. මේ රෝග තත්ත්වය නිසාම බොහෝ අපහසුතා ද ඇති වෙයි. වර්තමානයේ සමාජයේ අධික තරබාරුව කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වාම පැතිරී ගිය රෝග තත්ත්වයකි. මෙම අධික තරබාරුව පිළිබඳව අප විටින් විට කතා කළද ඒ සඳහා විවිධ ප්‍රතිකාරයන් අප ගන්නා ආහාර තුළම අන්තර්ගත වේ.

කය වෙහෙස නොකර මනස පමණක් වෙහෙස කරවන සමාජයේ අධික තරබාරුව ළං කරගන්නේ ජීවන පැවැත්මටය. තමන් ගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් අධික තරබාරුව නිතැතින්ම අප වෙත ළඟා වෙයි. අපට තරබාරුව ළඟා කර දෙන ආහාර විවිධ වේ. තම පරපුරෙන් තරබාරුව උරුම කරගත් පිරිසක් ද මේ අතර සිටිති.
නමුත් වර්තමානයේ තරබාරුව ඇතිවන ප්‍රධානතම කාරණය වන්නේ ආහාරයට අධික පිෂ්ඨයෙන් යුතු, තෙල් සහිත ආහාර නිරන්තරයෙන් අනුභව කිරීමය. අධික තරබාරුව ලෙස අප හඳුන්වන්නේ තමාගේ උසට සරිලන බර ප්‍රමාණයට වඩා වැඩියෙන් ශරීරයේ බර වැඩිවීම සහ අධික ස්ථුලතාව හෙවත් මහත් වීමයි. ශරීරය නොවෙහෙසා එක තැන හිඳ මනස පමණක් වෙහෙසවීමද ඊට හේතු වෙයි. විශේෂයෙන්ම පාසල් දරුවාගේ සිට මේ තත්ත්වය දක්නට ඇත. නිවසේ මෙන්ම වෙනත් ස්ථානවලද එදිනෙදා වැඩ කටයුතු සිදුකරනුයේ යන්ත්‍රානුසාරයෙනි.

අතීතයේ ගෘහණියගේ ව්‍යායාම මධ්‍යස්ථානය වූයේ මුළුතැන්ගෙයයි. නමුත් වර්තමානයේ ඇති කාර්ය බහුලත්වය අනුව එහි කටයුතු විවිධ යන්ත්‍රසූත්‍රවලටම පවරා ඇත. එදා සැතපුමක් දෙකක් දෙපයින් ගොස් තම අවශ්‍යතා සපුරා ගත් අය අද බඹ දහයක් හෝ දෙපයින් ඇවිදින්නේ නැත. එයද තම වාහනයෙන් හෝ කුලී රථයකින් ගමන් කිරීම විලාසිතාවක් වී හමාරය.

තම රැකියා ස්ථානයේදී ගත කරන කාලය බොහෝ විට ගෙවන්නේ ශීත කාමර තුළ පරිගණකයක් සමග ‍පොර බදමිනි. එහිදී විටින් විට ගන්නා කෙටි ආහාර නිසා ඉතා ඉක්මනින් තරබාරුව අප වෙත ළංවෙයි. විශේෂයෙන් දහවල් ආහාරය ගෙන නිදා ගැනීමද එතරම් සුබ නැත. ශරීරයට නිසි ව්‍යායාමයක් සිදු නොවීම ද රාත්‍රී ආහාර වේල පිළිබඳව නිසි අවබෝධයක් නොවීම ද මීට හේතු වේ. වර්තමානයේ බොහෝ දෙනකු රාත්‍රී ආහාරය පිණිස යන්නේ අවන්හල් කරාය. අවන්හල්හි සැකසෙන මේදය සහ පිෂ්ඨය අධික ආහාර නිතැතින්ම ස්ථුලතාව ඇති කරයි.

මානසික හේතු ද අධික තරබාරුවට අත වනයි. මනස අවිවේකී වීම මානසික ආතතිය ද ඇති කරයි. ශරීරයේ හෝමෝනවල වෙනස්වීමද මෙම ස්ථුලතාවට බලපායි. කෙසේ වෙතත් අධික ස්ථුලතාවට හේතු වනුයේ අපගේ එදිනෙදා ජීවන පැවැත්ම බව පැහැදිලිය.

අධික ස්ථුලතාව නිසා බෝ නොවන රෝග ගණනාවක් ඇති වෙයි. රුධිරගත මේදය ඉහළයෑම, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ඒ අතර වෙයි. තවද අධික තරබාරුව නිසා විශේෂයෙන් සිරුරේ නම්‍යශීලී බව නැතිවී යයි. එදිනෙදා ජීවිතයේ තම කටයුතු සැහැල්ලුවෙන් කර ගැනීමට ඇති හැකියාව ඇහිරී යයි. ශරීරය අලස වෙයි. එම නිසා එදිනෙදා ජීවිතයේ කටයුතු පමා වෙයි. විවිධ අපහසුතා ද ඇතිවෙයි.

ස්ථුලතාව හෙවත් අධික තරබාරුව මට්ටු කරන්නේ කෙසේද? මුළුතැන්ගෙයි තිබෙන බොහෝ කුළුබඩු ඊට උපකාරි වෙයි. ඒ අතර ගොරකවලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.

ගොරකා යනු අපේ ආහාර කලාවේ වැදගත් තැනක් හොබවන්නකි. එය Garcina combogia ලෙස උද්භිද විද්‍යාත්මකව හැඳින්වේ. එළ ගොරකා, රත් ගොරකා සහ මල ගොරකා ලෙස ගොරකා ප්‍රභේද කිහිපයකි. අප ආහාරයට යොදා ගන්නේ එළ ගොරකා හෝ රත් ගොරකාය. එළ ගොරකා හෝ රත් ගොරකා ලෙස හැඳින්වෙන්නේ ගෙඩියේ වර්ණය අනුවය.

අපේ ගොරකා භාවිතයට ඇත්තේ ඉතාමත් දිගු අතීතයකි. විවිධ ආහාර වර්ගයන් සැකසීමේදී ගොරකා භාවිත විණි. නමුත් සෑම ආහාරයකටම ගොරකා නොදැමීමට පැරැන්නෝ වගබලා ගත්හ. මාළු කල්තබා ගැනීමට සහ එහි රස රැක ගැනීමට මෙන්ම ඒවායේ මේද කොටස් ජීර්ණය පහසු කර වීමට ගොරකා එකතු කර ගන්නා ලදී. විශේෂයෙන් මාළු ඇඹුල්තියල් සැකසීමේදී ගොරකා සහ ගම්මිරිස් යහමින් එකතු කිරීම අප ගෘහණියන්ගේ සිරිත විය. මාළු ඇඹුල්තියල් යනු දින කිහිපයක් කල් තබා ගෙන ආහාරයට ගැනීමට සකසන ලද මාළු ව්‍යාංජනයකි. තවද බොහෝ විට ඇඹුල්තියල් සෑදීම සඳහා භාවිත කරනුයේ බල මාළුය. බලමාළු උෂ්ණය. බලමාළුවලින් සිදුවන බොහෝ සංකූලතා මග හරවා ලීමට ගොරකා උපකාරි වේ.

ගොරකා යොදා සකසන ආහාර අතර මාළු ඇඹුල්තියල් ව්‍යාංජනය මෙන්ම කිරි හොද්ද ද සුවිශේෂය. කිරි හොද්ද සැකසීමේදී ගොරකා ටිකක් දැමීම සිරිතකි. ගමේදී ඊට කියන්නේ ගොරකා අත්තක් දමනවා කියාය. මාළු ඇඹුල්තියල් දැමීමේදී ගොරකා අඹරා දැමුවත් කිරිහොදි හැදීමේදී එසේ නොකෙරේ. තවද කොහිල, ‍පොලොස්, කෙහෙල්මුහ වැනි තන්තුමය ආහාර සැකසීමේදී ගොරකා දැමීම සිදුවේ.

තවද බැදුම් වර්ග හැදීමේදී ද ගොරකා ටිකක් එකතු කරනු ලැබේ. ගොරකා අමුවෙන් ආහාරයට නොගැනෙයි. අහර පිණිස ගැනෙන්නේ වියළා ගත් පසුවය. දුම් මැස්සේ හෝ තද අව්වේ වියළා ගනු ලැබේ.

ගොරකා ආයුර්වේදයේ දී මෙන්ම දේශීය චිකිත්සාවේද ප්‍රකට ඖෂධයකි. ගොරකා දමා සාදන ලද කායම් හොද්ද ඉපැරණි ගම්වල දරු ප්‍රසූතියකදී මවට බිමට දෙන ලදී. කුඩා දරුවන් මාන්දම් රෝගයෙන් මුදවා ගැනීම සඳහා ද ගොරකා අනිවාර්යයෙන් දෙන ලදී. ගොරකා ආහාරයට යෙදීමෙන් අපේක්ෂා කරන ලද්දේ අනවශ්‍ය මේද කොටස් ජීර්ණය කර දැමීම සඳහා ශරීරයට පහසුව ලබා දීමයි. විශේෂයෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහපත් කිරීම සඳහා ගොරකා ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

අතීතයේදී සුදුලූනු කල් තබා ගැනුනේ ද ගොරකා බඳුන් තුළ අතුරා තැබිමෙනි. සුදුලූනු ගොරකා සමග මිශ්‍රකර බඳුනක දමා වසා තබා මාස දෙකක් පමණ කල් ගිය විට එය පැරණි මී පැණියෙහි දමා තවත් මසක් පමණ වසා තබා දිනපතා එක් සුදුලූනු බික බැගින් ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව මෙන්ම රුධිරගත මේදය ද අඩුකර ගත හැකිවේ. මෙය අපට ගෙදරදීම සදාගත හැකි තරබාරුව සඳහා සරල ආහාර අතිරේකයකි.

ආයුර්වේදයේදී මෙන්ම දේශීය චිකිත්සාවේදී ද ගොරකා භාවිත වන බව මුලින් සඳහන් කළෙමු. බොහෝ විට ආමාශගත සහ අන්ත්‍ර ගත රෝග සුවපත් කිරීමේදී විවිධ තෙල් වර්ග සැකසීමේදී කැඩුම් බිඳුම් චිකිත්සාවේදී මෙන්ම ශරීරගත වූ කංසා සහ ජයපාල විස ඉවත් කිරීමේදී මෙන්ම මල මූත්‍රා බද්ධයේදීද ගොරකා තවත් ඖෂධ සමග සංයෝගව යොදා ගැනේ. විශේෂයෙන්ම හෘද රෝගවලට ද යොදන ඖෂධ සඳහා ද ගොරකා යොදා ගැනේ. නොයෙක් අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගෙන තිබේ. කුඩා දරුවන්ට ඇතිවන අතීසාර වැනි රෝග සුවපත් කිරීමට ද ගොරකා යොදා ගෙන ඇත. දේශීය චිකිත්සාවේ ගෙඩි වන පිළිකා සුව කිරීමට ගොරකා යොදා ගත් අවස්ථා ද තිබේ.

කෙසේ වෙතත් ගොරකා ආහාරයට එකතු කර ගැනීමත් ආහාර අතිරේකයක් ලෙස ගැනීමත් අරබයා වර්තමානයේ බොහෝ කථිකාවන් ගොඩනැගී තිබේ. එහෙත් ගොරකා ගැනීමේදී යම් යම් මාත්‍රාවන් ඇති බව දැනගත යුතුවේ. සමහර රෝගීන්ට ගොරකා එතරම් යහපත් නොවේ. විශේෂයෙන් අක්මාව ආශ්‍රිත රෝග ඇති අයට එය එතරම් යහපත් නොවන්නේ ගොරකාවල අඩංගු විශේෂ අම්ල වර්ගයක් හේතුවෙනි. ව්‍යංජන සැකසීමේදී ගොරකා එකතු කළ විට සිදුවනුයේ ආහාරවල ඇති මේද කොටස් හා පිෂ්ඨය අතිරේකව තැන්පත් වීම අවම වීමයි. තවද ජීර්ණ ක්‍රියාවලිය යහපත් කිරීම මෙන්ම අධික ලෙස ආහාර ගැනීමට ඇති රුචිකත්වය අවම කිරීමයි. මේ හේතුව නිසාම අධි ස්ථුලතාව ඇති අයට තම ශරීරයේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය ශක්තිය බවට පෙරළීමට ගොරකාවලට විශේෂ හැකියාවක් ඇත. 

අධික ස්ථුලතාව ඇති අයට මෙන්ම රුධිර ගත මේදය ඇති අයටද ගොරකා සුදුලූනු, කරපිංචා, උළුහාල් මිශ්‍රව අඹරා ගත් කල්කය නෙල්ලි ගෙඩියක ප්‍රමාණය ආහාර සමග ගැනීමෙන් එම රෝග තත්ත්වයන් මගහරවා ගත හැකිවේ. මධුමේහ රෝගීන්ට ද ගොරකා යහපත් වේ. නමුත් නිරන්තරයෙන් අධික ලෙස ගොරකා භාවිතය එතරම් සුදුසු නොවන්නේ බොහෝ විට රුධිර ගත සීනි ප්‍රමාණය ශරීරයට අවශ්‍ය පමණට වඩා අඩු විය හැකි බැවිනි. තවද අම්ල පිත්ත රෝගීන්ද ගොරකා භාවිතය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

කෙසේ වෙතත් සම්ප්‍රදාය තුළ ආහාර සැකසීමේදී යොදා ගැනෙන ගොරකා මගින් අපට වැලඳෙන්නා වූ බෝ නොවන රෝග රාශියකට වැට බඳින ලදී.

ගොරකා දිගින් දිගටම ගත යුත්තේ වෛද්‍ය උපදෙස් පිටය. නමුත් ගොරකා ආශ්‍රිතව කරල් පෙති ආදිය වෙළෙඳ ‍පොළේ තිබේ. ඒවා අධික මිලගණන් ගෙවා මිලදී ගත යුතුද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් ඒකීය ලෙස පෙති කරල් ලෙස සැකසූ ගොරකා වෙනුවට වෙනත් සංයෝග සමග ගැනීම ඉතාමත් යෝග්‍ය වේ. මන්ද යත් අපේ සම්ප්‍රදාය තුළ ආහාර විවිධ රෝග සඳහා යොදා ගත්තේ එදිනෙදා අප ගන්නා ආහාරවලට එකතු කර ගැනීමෙනි. උදාහරණයක් හැටියට මාන්දම රෝගීන්ට ලබාදෙන ආහාරවලට ගොරකා දැමීම සිරිතක් විය. මේ අයුරින් ගොරකා ඒකීය ලෙස නොව ආහාර හෝ වෙනත් ඖෂධ සංයෝග ලෙස ගැනීම බෙහෙවින් යෝග්‍යය. තවද ගර්භණී මව්වරුන් හට ගොරකා එතරම් යහපත් නොවේ. එබැවින් ආහාර සමගින් ගන්නා වූ සුළු මාත්‍රාව පවා ප්‍රමාණවත්ය.

ශරීරයේ බර අඩු කිරීමට මෙන්ම ස්ථුලතාවට ඉතා හොඳ ගොරකා එදිනෙදා ජීවිතයේදී අප ගන්නා ආහාරවලින් ලැබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම් ගොරකා මිශ්‍රණ ඉහත සඳහන් වට්ටෝරුව ඉතා අගනේය. අපගේ පැරණි සාම්ප්‍රදායික ආහාර සැකසුම් පිළිවෙත මුළුතැන්ගෙට නැවත ළඟාකර ගැනීමෙන් මෙවැනි බොහෝ රෝග මගහරවා ගත හැකිය.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය