100 වැනි ජන්ම දිනය සමරන මව


දරු මුනුපුරන්, මී මුනුපුරන් ඇතුළු දරු දැරියන් 108 දෙනකුගේ ආදරය ලබමින් ජීවත් වන මවක් අද (12දා) තම සිය වැනි ජන්ම දිනය සමරයි.

මාරවිල - කටුනේරිය, අඩප්පරවත්ත පදිංචි ඇය වර්ණකුලසූරිය ඇලිස් ප්‍රනාන්දු මාතාවය. 1916 සැප්තැම්බර් මස 12 වැනිදා මෙලොව එළිය දැක ඇති ඇය මිරිස්සගේ ජූලියස් ප්‍රනාන්දු මහතා හා විවාහ වී ඇත. එම විවාහයෙන් ඇයට දරු දැරියෝ 07 දෙනෙක් සිටිති. පිරිමි දරුවන් තිදෙනාම මේ වන විට ජීවතුන් අතර නොමැති බවත්, ගැහැනු දරුවන් සිවු දෙනා පමණක් ජීවත් වන බවත් දැන ගන්නට ඇත. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 80කි. බාල දියණියගේ වයස අවුරුදු 64කි. ඇලිස් ප්‍රනාන්දු මාතාවගේ දරු මුනුපුරන් අතර සිටින බාලයාගේ වයස අවුරුදු 02කි. එම දරුවා ඇයගේ සිවු වැනි පරම්පරාවේ අයෙකි. සියලුම දෙනා එක් කළ විට දරු මුනුපුරන්, මී මුනුපුරන් ගණන 108කි.

ඇලිස් ප්‍රනාන්දු මාතාව වෙනුවෙන් පෞද්ගලික ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ටී.බී.එම්. ඒකනායක මහතා විසින් 1972 පෙබරවාරි මස 23 වැනිදා අංක 167560082V යනුවෙන් ජාතික හැඳුනුම්පතක්ද නිකුත් කර ඇත.

අතීතයේදී පන් සහ පොල් කර්මාන්තයට දක්‍ෂතා දක්වා ඇති ඇය සිවු වැනි පරම්පරාවේ දරුවන් සමඟ වර්තමානයේ සතුටින් ගතකරයි. දියණියන් දෙදෙනකුගේ සෙවණේ තමන්ගේ සිය වැනි ජන්ම දිනය සමරන ඇලිස් ප්‍රනාන්දු මාතාව වෙනුවෙන් විශේෂ වැඩ සටහනක් අද ඇයගේ නිවෙසේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව ඉහළ කටුනේරිය ශාන්ත ජූඩ් දේවස්ථානයේ පියතුමන් විසින් ඇලිස් ප්‍රනාන්දු මාතාවගේ නිවෙසට පැමිණ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය. අනතුරුව තම මිත්තණිය වෙනුවෙන් දරු මුනුපුරන් විසින් සංවිධානය කරනු ලබන විශේෂ උපහාර වැඩසටහනක් ඇයගේ නිවෙසේදී පැවැත්වීමට නියමිතව ඇත.